ග්ලයිෆොසෙට් තහනම දුමින්ද යට ගහලා - තහනම තාම ක්‍රියාත්මක නෑ
ග්ලයිෆොසෙට් වල්නාශකය රට තුළ තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩල තීන්දුවට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය ලබා නොදී මේ වනවිට පවතින...

https://www.sathhanda.com/2015/09/Glyphosate-banned-in-sri-lanka.html
ග්ලයිෆොසෙට් වල්නාශකය රට තුළ තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩල තීන්දුවට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය ලබා නොදී මේ වනවිට පවතින්නේ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ළඟ බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා ආචාර්ය ජී.ඒ.ඩබ්. විජේසේකර විසින් ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කර එයට අනුමැතිය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජේරත්නට පසුගිය ජුනි මාසයේදී යොමුකර ඇති අතර ලේකම්වරයා විසින් එය අනුමැතිය සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකට යොමුකර ඇත. එහෙත් කෘෂිකර්ම ඇමතිවරයාගෙන් ඊට අදාළ අනුමැතිය තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට ලැබී නැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.
ග්ලයිෆොසෙට් රට තුළ භාවිතය තහනම් බව ජනාධිපතිවරයා පසුගිය මැයි මස තුන්වන සතියේදී ප‍්‍රකාශයට පත් කළ අතර කැබිනට් මණ්ඩලය විසින් මැයි 28 වැනි දින එම තහනම අනුමත කළේය. මුදල් අමාත්‍ය රවි කරුණානායක ආනයන අපනයන පාලන පනත යටතේ ග්ලයිෆොසෙට් රටට ගෙන ඒම ජූනි 11 දින තහනම් කළේය. මෙම තීන්දු තීරණ අතර කාලයේදී ග්ලයිෆොසෙට් කන්ටේනර් 15ක් රට තුළට ගෙන එනු ලැබීය.
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජී.ඒ.ඩබ්. විජේසේකරගේ 2014 දෙසැම්බර් 22 දින දරන ගැසට් නිවේදනය අනුව ග්ලයිෆොසෙට් භාවිතය මීට පෙර තහනම් කර ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල යන දිස්ත‍්‍රික්කවල හා බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගණය, රිදීමාලියද්ද හා කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල පමණය.
ග්ලයිෆොසෙට් තහනමට අදාළ පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයාගේ ගැසට් නිවේදනය සඳහා මාස තුනකට ආසන්න කාලයක් අනුමැතිය නොදීම පිළිබඳව විමසීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.
ග්ලයිෆොසෙට් තහනම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ඇතුළත් කැබිනට් පත‍්‍රිකාවක්ද අමාත්‍ය දුමින්ද දිසානායක මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ග්ලයිෆොසෙට් තේ වගාව සඳහා අවශ්‍ය යන මතයේද අමාත්‍යවරයා මීට පෙර සිටියේය.
Ravaya ඇසුරෙන්
Related