රැකියාව නිසා මං දැන් කලාවෙන් ඈත්වෙලයි ඉන්නේ - නිපුණිකා හේවාගමගේ

මෑතකදී ඉතා කෙටි කාලයක් තුළ රංගනයෙන් සහ නිවේදනයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය සහ ආදරය දිනා ගත් ශිල්පිනියක වු ඇය නිපුණිකා හේවාගමගේ ය. නිපුණිකා ...



මෑතකදී ඉතා කෙටි කාලයක් තුළ රංගනයෙන් සහ නිවේදනයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය සහ ආදරය දිනා ගත් ශිල්පිනියක වු ඇය නිපුණිකා හේවාගමගේ ය. නිපුණිකා දැන් වෙනත් ක්ෂේත්‍ර‍යක රැකියාවක නියැළෙන බව අපිට ටික කාලයකට කලින් ආරංචි වුණා. ඒ නිසා අලුත් නිර්මාණ තුළින් දැන් ප්‍රේක්ෂකයන්ට වැඩි පුර ඇය දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ ගැන නිපුණිකා දුන් පිළිතුරු අද ඔබ වෙනුවෙන් මේ ලෙස සටහන් කළා.

නිපුණිකා මොනවද අලුත් තොරතුරු?

ජිවිතේ නම් සුපුරුදු පරිදි හොඳින් ගත වෙනවා. දැන් මම පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. ඒ අතර තුර හිරු ටීවී එකේ වැඩසටහනකට සහ හඩ කැවීම් කටයුතු වලට දායක වෙනවා.

කියන්නකෝ අපිටත් අලුත් ජොබ් එකේ විස්තර?

මං ජෝර්ජ් ටුවර්ස් ආයතනයේ හෙල්ත් සර්විස් එකේ තමයි වැඩ කරන්නේ දැන් මාස හයක් ඉවරයි.

කෙල්ලට අලුත් ජොබ් එක හිතට අල්ලලා ගිහින් වගෙයි?

හොඳයි. කිසිම කරදරයක් නැහැ. මෙතැන ස්ථාවරයි. දියුණු වෙන්නත් පුළුවන්. මං ඉගෙන ගත් දේවල් මේ ජොබ් එකට සෑහෙන ප්‍රයෝජනවත්.

එහෙනම් දැන් අලුත් යාළුවෝ එහෙමත් ඇති ?

මගේ ටීම් එකේ මං විතරයි ගැහැනු ළමයකුට ඉන්නේ. නමුත් අනිත් හැමෝගෙන්ම හොඳ සහායක් ලැබෙනවා. ඒ නිසා අමාරු නැහැ. ඇත්තටම මං හරි කැමැතියි.

කලාකාරිනියක් වු ඔබ අද ‍වෘත්තිමය වශයෙන් තෝරා ගෙන තිබෙන්නේ වෙනත් අංශයක්?

ඔව්. මේ දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා. නමුත් මං කොහොමත් හිටියේ මගේ උසස් අධ්‍යාපනයට සරිලන රැකියාවක් කරන්න. නැත්නම් ඉගෙන ගත්තු දේවල් අපරාදෙනේ..

ඒ කියන්නේ නිපුණිකා රංගනයට සමු දුන්නාද?

මේ ජොබ් එකට එන්න කලින් දායක වුණු නිර්මාණ තුනක් නම් තියෙනවා. නමුත් අලුතෙන් කිසිම වැඩක් බාර ගත්තේ නැහැ. මට නි‍වාඩු ලැබෙන්නේ දවස් දෙකයි. ඉතින් ඒ කෙටි කාලයෙන් නිර්මාණයකට සාධාරණය ඉෂ්ට කරන්න අමාරුයි.

ඒ නිසා ලොකු නිර්මාණ බාර ගත්තේ නැහැ.

රංගනයෙන් ඈත්වීම ගැන දුක නැද්ද?

දුකයි. තවම ගොඩක් අය දන්නේ නැහැ මං ඈත් වුණා කියලා ඉතින් අදටත් ආරාධනා ලැබෙනවා ඉතින් ඒ සමහර වෙලාවට දුකයි. හැබැයි මං ගත්තු තීරණය හරි කියලා හිතෙනවා. ඒ නිසා පසුතැවිමක් නැහැ.

ඔබ ජනප්‍රියව ඉන්න අවධියකයි කලාවෙන් ඉවත් වන්නේ. කලාව වෘත්තිය කර නොගන්න විශේෂ හේතුවක් තිබුණද?

ගොඩක් අය ඔය ප්‍ර‍ශ්නේ මගෙන් අහනවා. ඇත්තටම එහෙම කරන්න තිබුණා නමුත් මට මේ ලෝකේ වැදගත්ම දේ මගේ පවුලයි. ඉතින් කසාද බැඳපු දවසක වුණත් මං දන්නවා මට රංගනයට සමු දෙන්න වෙයි කියලා. අනික විවාහයෙන් පස්සේ රැකියාවක් කරන්න මගෙත් ලොකු අදහසක් නැහැ. ඕනම දෙයක් හරි කාලෙදි ලැබෙද්දී බාර ගන්න ඕනේ. මටත් හරි දේවල් හරි කාලෙදී ලැබුණා. ඒ නිසා පසු තැවීමක් නැහැ.

ඒ කියන්නේ මේ රැකියාවත් තාවකාලිකයි?

මං විවාහ වෙන කෙනා කිව්වොත් නවතින්න කියලා ඉතින් නවත්තන්න වෙයි. හැබැයි එච්චරම පටුවට හිතන කෙනෙක්ව මං බඳින එකකුත් නැහැ. හැබැයි ඉතින් ගෑනු ළම‍යකුට ලිමිට්ස් තියෙනවා නේ. අන්න එතැනදි හිරවෙනවා.

රංගනයටත් ඔහුගේ වැඩි කැමැත්තක් නැහැ වගෙයි?

අනේ එහෙම දෙයක් නැහැ. මේ ජොබ් එක ලැබුණු නිසයි මං අයින් වුණේ.

කලක් මාධ්‍යවේදිනියක් වෙන්නත් නිපුණිකා හීන දැක්කා නේද?

එවි. මං ඉගෙන ගත්තෙත් මාධ්‍ය සම්බන්ධයෙන්. නමුත් අද ඉන්නේ වෙන තැනක. අපිට ඕනේ හැම දේම ඕන විදිහටම ඉටු වෙන්නේ නැහැ නෙ. ලැබුණු දේ ගැන සතුටුයි. ඒ ලැබුණු දේ හොඳින් කිරීමයි දැන් මගේ අරමුණ.

මාධ්‍යවේදිනියක් වුණා නම් ඔබ තෝර ගන්නේ මොන අංශයද?

ප්‍රවෘත්ති කියන්න මං ගොඩක් කැමැතියි. මගේ ගමනේ ආරම්භය සනිටුහන් වෙන්නෙත් ඉංග්‍රීසි ප්‍ර‍වෘත්ති නිවේදිකාවක් විදිහටයි ඒ නිසා අවස්ථාව ලැබුණොත් විද්‍යුත් මාධ්‍ය හෝ මුද්‍ර‍ණ මාධ්‍ය හෝ වේවා අනිවාර්යෙන්ම මං තෝර ගන්නේ ප්‍ර‍වෘත්ති අංශය තමයි.

දේශපාලනයට තිබුණු කැමැත්ත දැන් මඟහැරිලාද?

කැමැත්තක් තියෙනවා. නමුත් ඒ ගැන දැන් කතා කරන්න හේතුවක් නැහැ.

තදින්ම නීති වැටිලා වගෙයි?

නෑ ඇත්තටම කැමැත්තක් තිබුණා. නමුත් මං දන්නවා ඒ අංශයෙන් මුකුත් කර ගන්න බැහැ කියලා. ඒ නිසා මගේ කැමැත්ත හිතේ තිබුණට ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.තේරුමකුත් නැහැ.මගේම දැක්මක් තියෙනවා. ඒක ඉතින් එතැනින් එහාට යන එකක් නැහැ.

ඇත්තද නිපුණිකා දේශපාලනයට ගියොත් අම්මා ගෙදරින් යනවායි කිව්වා කියන්නේ?

ආ.. ඒ කතාව‍ට දැන් ටික කාලයක්. ඇත්තටම අම්මා කොහෙත්ම කැමැති නැහැ. ගැහැනු ළමයෙක් නිසා. කොයි අම්මාත් එහෙමනේ.

ටානියා මෝසස්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 4226850487087859735

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item