ඇස්බැස්ටස් නම් තහනම් – දැන් අපි සුරක්ෂිතද?

2018 ජනවාරි 01වැනිදා සිට ලංකාවට ඇස්බැස්ටස් සෙවිළි තහඩු ගෙන්වීම සහ නිෂ්පාදනය තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේදී (හරියටම...

2018 ජනවාරි 01වැනිදා සිට ලංකාවට ඇස්බැස්ටස් සෙවිළි තහඩු ගෙන්වීම සහ නිෂ්පාදනය තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේදී (හරියටම කිව්වොත් අගෝස්තු 29වැනිදා) නිවේදනය කළා.

ඒ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැත්වුණු ඇසළ පෙරහරට සමගාමීව පවත්වනු ලැබූ පාරිසරික සත්කාර වැඩසටහනේ සාමාප්ති උළෙලට සහභාගී වෙමින්. ලබන වසරේදී පොලිතීන් තහනම ගැනත් සලකා බලන බව ඔහු එම උත්සවයේදී ප්‍රකාශ කළා.

ඇස්බැස්ටස් පිළිකා රෝග කාරයක් බවට අද විද්‍යාඥයින් සිය පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇති බව පැවසු ජනාධිපතිවරයා තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ පිළිකා රෝග ව්‍යාප්තියට මගපාදන මෙම ඇස්බැස්ටස් සෙවිළි තහඩු තහනම් කිරීමට උත්සාහ කළත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය එවකට සිටි පාලකයන්ගෙන් නොලැබිම ගැන කියමින් සිය ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂට ප්‍රහාරයකුත් එල්ල කළා.

ඇස්බැස්ටස් තහඩු නිෂ්පාදන කර්මාන්තයේ නියුතු වුවන්,ඇස්බැස්ටස් ආනයනකරුවන් සහ එම කර්මාන්තයේ සේවය කරන්නන්ගේ රැකියා සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න සැලකිල්ලට ගෙන තහනමට අවුරුදු දෙකක කාලයක් ලබාදෙන බවත් රජයේ ආරංචිමාර්ග පවසනවා.

ඒ අනුව ජපානය, ඉතාලිය, ජර්මනිය, ඕස්‌ට්‍රේලියාව, යුරෝපා සංගමයේ සියලු රටවල් ඇතුළු ඇස්බැස්ටස් තහනම් කළ රටවල් 50කට අධික ලැයිස්තුවට තව වසර දෙකකින් ලංකාවත් එකතු වෙනවා. රටවල් ගණනාවක් තහනම් කලත් ඇමෙරිකා එක්‌සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක් ඇස්‌බැස්‌ටස්‌ මෙතෙක්‌ සහමුලින් ම තහනම් නොකර එය භාවිතා කිරීමට අදාළ සීමා මායිම් පනවා තිබෙනවා.

ඇස්බැස්ටස් පිළිකා කාරකයක් ලෙස සැලකෙන නිසා එය තහනම් කලත් අපි දැන් පිළිකා භීතියෙන් සම්පුර්ණයෙන් නිදහස්ද? ඒ ගැන කතා කරන්න කලින් ඇස්බැස්ටස් ගැන කරුණු කිහිපයක් කතා කරන්න වෙනවා.

අපේ නිවෙස් වල වහල සෙවිලි කිරීමට යොදා ගන්නා සෙවිලි තහඩු මෙන්ම බ්‍රේක්‌ ලයිනර්, ක්‌ලච් ප්ලේට්‌, ගෑස්‌කට්‌, තාප පරිවාරක නළ, තාප පරිවාරක බොයිලේරු, තාප පරිවාරක ඇඳුම් හා අත්වැසුම් ආදී විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නා ඇස්බැස්ටස් පොළොව තුල තිබෙන ස්වභාවික ඛනිජයක්‌. ස්‌වාභාවිකව උත්පාදනය වන සිලිකේට පාෂාණ විශේෂයක්‌ වන ඇස්බැස්ටස් සෑදී ඇත්තේ තන්තුමය ස්‌ඵටිකවලින්. ඇසට පෙනෙන තන්තු මෙන්ම ඇසට නොපෙනෙන ක්‍ෂුද්‍ර තන්තු මිලියන ගණනක්‌ එක්‌රැස්‌ වීමෙන් මේ ඛනිජය සැකසී තිබෙනවා.

ඇස්‌බැස්‌ටස්‌ විශේෂ හයක්‌ ස්‌වාභාවික ව දැකගත හැකි අතර ඒවා නම් කර ඇත්තේ Chrysotile (සුදු ඇස්‌බැස්‌ටස්‌), Amosite (දුඹුරු ඇස්‌බැස්‌ටස්‌), Crocidolite (නිල් ඇස්‌බැස්‌ටස්‌), Tremolite, Anthophylite හා Actinolite ලෙස. මේ අතරින් බහුලව ම භාවිතයට ගැනෙන්නේ Mg3Si2O5(OH)4 රසායනික සුත්‍රය සහිත Chrysotile හෙවත් සුදු ඇස්‌බැස්‌ටස්‌. මෙම ඛනිජය රටවල් කිහිපයක දක්නට ලැබෙනවා.

2009 වසරේ දී පොළොවෙන් ලබා ගන්නා ලද මුළු ඇස්බැස්ටස් ඛනිජ ප්‍රමාණය ටොන් මිලියන 2ක්‌. මින් 50%ක්‌ ම පාහේ ලැබුනේ ලොව විශාලතම සබස්ටස් නිධි පිහිටි රුසියාවෙන්. චීනය, බ්‍රසීලය, කසකස්‌තානය ආදී රටවල් වැඩිම ඇස්බැස්ටස් නිෂ්පාදන රටවල් අතර පෙරමුණේ සිටිනවා. කැනඩාව කලකට පෙර මේ ලැයිස්‌තුවෙහි ඉහළින් සිටියත් එය ප්‍රබල පිළිකාකාරකයක්‌ බවටමතයක් ගොඩනැගීමත් සමග 2012 වසරේ දී ඇස්‌බැස්‌ටොස්‌ කැණීම සම්පූර්ණයෙන් ම නතර කළා.

ඇස්බැස්ටස් ඛනිජය පොලොව කැන ලබා ගැනීමේ ඉතිහාසය වසර 4000ක් තරම් ඈතට දිව ගියත් එය බහුලව විවිධ නිෂ්පාදන සඳහා භාවිතය ආරම්භ වුනේ ක්‍රිස්තු වර්ෂ 19වන සියවසේ අග භාගයේදී. මුලින්ම ඇස්බැස්ටස් සෙවිලි තහඩු භාවිතයට එන්නෙත් මේ කාලයේමයි. ඇස්බැස්ටස් වල අඩංගු සුවිශේෂී ගුණාංග වන ගින්නට, තාපයට මෙන්ම විවිධ ආම්ලික භාෂ්මික රසායන ද්‍රව්‍යයන්ට ප්‍රතිරෝධය දැක්වීම, මළ කෑමට බඳුන් නොවීම, විද්යුතය සන්නයනය නොකිරීම සහ ඉතා ඉහල ශක්‌තිමත් බවකින් යුතුවීම නිසා මෙහි වටිනාකම තවත් වැඩිවුනා. 20වන සියවසේ මුල සිට වහල සෙවිලි කිරීමේ මාධ්‍යයක් ලෙස ඇස්බැස්ටස් ඉතා වේගයෙන් ජනප්‍රිය වුනා.

නමුත් ඉතිහාසයේ සිටම ඇස්බැස්ටස් වල අඩංගු සියුම් තන්තු ආශ්වාස කිරීම පෙනහළු පිළිකා වලට හේතුවන බව දැනගෙන සිටියා. මේ පිලිබඳ මුල්ම වාර්තා අපට හමුවන්නේ ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ සිට. ඇස්බැස්ටස් ආශ්‍රිත වැඩවල නිරත වහලුන්ට පෙනහළු ආශ්‍රිත රෝගයක් වැළඳීමේ ඉඩකඩ වැඩිබව ඒ යුගයේ රෝමානු වාර්තා, විශේෂයෙන් කනිෂ්ට ප්ලිනී (ක්‍රි.ව. 61 – 114) ලියු වාර්තා අනාවරණය කරනවා.

1920 සහ 1930 අතර කාලයේදී ඇස්බැස්ටස් නිසා පිළිකා වැළඳීමේ ඉඩ ගැන විවිධ සොයාගැනීම් කළ අතර ඒ පිලිබඳ සාක්ෂි එකතු වුනා. මුලින්ම මෙහි අහිතකර ප්‍රතිපල ගැන නිරීක්ෂණය කර වාර්තාවක් සම්පාදනය කළේ මොන්ටේගු මුරේ නම් විද්‍යාඥයා 1899 වර්ෂයේදී. ඇස්බැස්ටස් හේතුවෙන් සිදුවූ බව නිශ්චය කර ගත ප්‍රථම මරණය 1906දී වාර්තා වුවත් අදත් ඇස්බැස්ටස් හේතුවෙන් මියගිය පළමුවැන්නා ලෙස නිල වශයෙන් පිලි ගැනෙන්නේ එංගලන්තයේ මැන්චෙස්ටර්හි කර්මාන්ත ශාලාවක වැඩකළ කම්කරු කාන්තාවක් වන නෙළී කර්ෂෝ (Nellie Kershaw ; 1891 – 1924). ඇය “ටර්නර් බ්‍රදර්ස්” නම් ඇස්බැස්ටස් කර්මාන්ත ශාලාවක සේවයේ නිරතව සිටියදී පෙනහළු ආශ්‍රිත රෝගයකින් මියගියා. රෝගයට හේතුව “ඇස්බැස්ටස් අසාත්මිකතාව” බව පසුව බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලය සඳහන් කළා. 1980 සහ 1990 දශක වනවිට ඇස්බැස්ටස් සෙවිලි තහඩු නිවෙස් වලට යොදා ගැනීම තහනම් කරන සහ සීමා කරන නීති සම්මත කිරීමට ක්‍රමයෙන් විවිධ රටවල් පෙළඹුනා.මේ වන විට රටවල් 50ක් පමණ එය මුළුමනින් තහනම් කර තවත් රටවල් එය භාවිතය සීමා කර තිබෙනවා. ඒ අතින් බලන විට ලංකාව පරක්කුයි කිව්වොත් වරදක් නෑ.

සෑම වර්ගයකම ඇස්බැස්ටස් කෙඳි ඉතා බරපතල සෞඛ්‍ය හානි ඇතිකරන බව සොයාගෙන තිබෙනවා. ඉතාම හානිකර වර්ග වන්නේ Amosite සහ crocidolite. සෙවිලි තහඩු සඳහා යොදා ගන්නා chrysotile ඒ තරමටම නොවුනත් පිළිකා කාරකයක් බව සතුන් ඇසුරින් කරන ලද පර්යේෂණ හෙළිකර තිබෙනවා. පෙනහලු තුළ තැන්පත් වන ඇස්‌බැස්‌ටස්‌ අංශු පෙනහලු පිළිකා ඇති කිරීමට හේතුකාරක වෙනවා.

ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති නිසා සෘජුව ම පිළිකා ඇතිවීම ගැන විවාද තිබුනත් වෙනත් හේතූන් නිසා ඇති වන පෙනහලු පිළිකා අවදානම ඇස්බැස්ටස් නිසා වර්ධනය වීම සිදු වන බව වෛද්‍යවරුන් අවිවාදිතව පිලිගන්නවා. විශේෂයෙන් ඇස්බැස්ටස් ආශ්‍රිත නිෂ්පාදන වල නියුතු කම්කරුවන් බහුල වශයෙනුත්, ඇස්බැස්ටස් සෙවිලි කල නිවෙස් වල වාසය කරන්නන් තරමක් දුලබ වශයෙනුත් පිළිකා අවදානමට ගොදුරු වන බව පැවසෙනවා.

නමුත් ඇස්බැස්ටස් නිසා ඇතිවන අසාත්මිකතානම් හැම තැනම සුලභයි.ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මේ වනවිට වසරකට පුද්ගලයන් මිලියන 125ක් පමණ තම වැඩබිමේදී ඇස්‌බැස්‌ටස්‌වලට නිරාවරණය වෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවලට අනුව එමගින් වාර්ෂික ව මියයන ප්‍රමාණය 107,000ක්‌ පමණ වනවා.

1980 දශකය වනවිටම ඇස්බැස්ටස් වල රෝගකාරක බව නිෂ්ක්‍රිය කරන රසායනික ක්‍රමවේදයන් වගේම කෙඳි වල විශාලත්වය පාලනය කිරීම හරහා අවදානම අඩුකරන නිෂ්පාදන ක්‍රමවේද සොයා ගත්තා. ඒවා භාවිතා කරනවානම් සෞඛ්‍ය අවදානමකින් තොරව ඇස්බැස්ටස් භාවිතා කරන්න පුළුවන්.
නමුත් ලාභය පමණක් ඉලක්ක කරගත් සමාජ වගකීමක් නැති වත්මන් ආර්ථික රටාව තුල එවැන්නක් ප්‍රායෝගිකව සිදුවන්නේ නෑ. ඒ නිසා ඇස්බැස්ටස් භාවිතය තහනම් කිරීම හැර අන් විකල්ප නැතිවී තිබෙනවා. දැනටමත් ඔබේ වහල සෙවිලි කර තිබෙන්නේ ඇස්බැස්ටස් වලින්නම් ඒවා ගලවා දැමීමට හදිසි විය යුතු නෑ. ඇස්බැස්ටස් කර්මාන්තයේ නියුතු කම්කරුවන්ට තරම් අවදානමක් ඇස්බැස්ටස් වහලයක් යට ජීවත් වන්නන්ට නෑ.

ජනතාවට පිළිකා වැළඳීමේ අවදානම ඉහල යාමට එකම හේතුව ඇස්බැස්ටස් නෙවෙයි. ආහාර නිෂ්පාදනයේදී යොදා ගන්නා රසායනික වර්ග, ආහාර කල්තබා ගැනීමට යොදන රසායනික වර්ග වගේම කෘත්‍රිම ආහාර රසකාරකත් ලංකාවේ පිළිකා කාරක අතර මුල් තැනක් ගන්නවා. ඒ කිසි දෙයක් ගැන අවධානයක් නැතිව ඇස්බැස්ටස් විතරක් ගැන අවධානය යොමුවීම ප්‍රශ්නකාරීයි. මේවා අලුත් ආණ්ඩුවේ හුදු ජනප්‍රියවාදී වැඩ වෙන්නත් පුළුවන්. මීට කලින් ආණ්ඩුව මයික්‍රෝන 19ට වඩා අඩු පොලිතීන් තහනම් කළා කිව්වා. ඒවා අදත් වෙළඳපලේ තිබෙනවා.

චම්පික රණවක පරිසර ඇමති වෙලා පොලිතීන් තහනම් කළ ආණ්ඩුවේම අධ්‍යාපන අමාත්‍යාංශය 1 සහ 2 වසර පාසල් සිසුන්ට තවද සඳහා එවැනි තුනී පොලිතීන් වලින් සරුංගල් තැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. දැන් ජනාධිපති කියන්නේ ඒ පොලිතීන් 2016දී යලිත් තහනම් කරන බව. මේක විහිළුවක්. මේ විදියට ග්ලයිපොසේට් තුන් වරක් තහනම් කළ ආකාරය අපි ජනරලේ ලිව්වා ඔබට මතක ඇති. පසුගිය ආණ්ඩුව කාබයිට් තහනම් කළා කියලා ලොකු ඝෝෂාවක් කළා. ඒත් කාබයිට් ඕන තරම් අදත් වෙළඳපලේ තිබෙනවා. කාබයිට් වලටත් වඩා හානිදායක ආදේශක නිරුපද්‍රිතව වෙළඳපලේ තිබෙනවා. ඇස්බැස්ටස් තහනමත් ඒ වගේම විකාරයක් වෙයිද? ඒ ගැන අවධානයෙන් ඉන්න, අපට කියන්න තියෙන්නේ ඒකයි.

ඇස්බැස්ටස් නිසා වැළඳිය හැකි රෝග

1.ඇස්බස්ටොසිස් – ඇස්බැස්ටස් කෙඳි පෙනහළු වලට යාම නිසා ඇතිවන ඇදුම තත්වය සහිත රෝගයක්
2. ඇස්බැස්ටස් ගෙඩි – ඇස්බැස්ටස් කෙඳි සමට ඇතුළුවී ඇතුලතින් ආසාදනය වීම නිසා හට ගන්නා ගැටිති සහ සැරව ගෙඩි සහිත රෝගයක්
3. මීසොතීලියෝමා – පෙනහැල්ල ආරක්‌ෂා කරන ප්ලූරාව මත ඇති වන පිළිකාව. (මෙය ඇස්බැස්ටස් නිසාම පමණක් ඇතිවන බව විශ්වාස කෙරේ)
4. පෙනහළු පිළිකාව
5. ප්ලුරාව ඝන වීමෙන් ඇතිවන අසාත්මික තත්වයන්, මෙමගින් හුස්ම ගැනීම අපහසු විය හැක.
6. නිව්මෝනියාව – පෙනහළු වල ක්‍රියාකාරීත්වය ඇස්බැස්ටස් කෙඳි නිසා අඩපන වීමෙන් නිව්මෝනියා තත්වයද ඇතිවිය හැක.
7. වෙනත් පිළිකා – ඩිම්බ කෝෂ ආශ්‍රිතව හා ගලනාලය ආශ්‍රිතව පිළිකා ඇති කිරීමට ද ඇස්බැස්ටෝස් හේතු විය හැක.
වහලේ ඇස්බැස්ටස්ද? කළ යුත්තේ කුමක්ද?
1. වහලය ගලවා නැවත සෙවිලි කිරීමට කලබල නොවන්න.
2. සිවිලිමක් ඉදි කර තිබේනම් අවදානම අඩුකර ගත හැක.
3. ඇස්බැස්ටස් මත තීන්ත ආලේප කිරීමෙන් කෙඳි ගැලවීම පාලනය වේ.
4. වහලට දුරින් සිටින්න. වහල මත නැගීම, එහි නිදා ගැනීම, රෙදි වැනීම නවත්වන්න.
5. ඇස්බැස්ටස් සෙවිලි තහඩු සුරා දැමීමෙන් හා පිරිසිදු කිරීමෙන් වලකින්න. කිසියම් හේතුවකට සෙවිලි තහඩු කැපීමට හෝ සීරීමට සිදුවන්නේ නම් කුඩා දරුවන් එතනින් ඉවත් කරන්න.
6. ඉවත දමන සෙවිලි තහඩු කැබලි පොලොව ගැඹුරේ වලලා දමන්න. කුඩා දරුවන්ට ඒවා සමග සෙල්ලම් කිරීමට ඉඩ නොතබන්න.
7. අලුතින් නිවසක් ඉදි කරන්නේ නම් උළු, ඇලුමිනියම් සින්ක්‌ මිශ්‍ර්‍ර ලෝහ සෙවිලි තහඩු වැනි විකල්ප කරා යොමු වීමට උත්සාහ කරන්න.

ඇස්බැස්ටස් කර්මාන්තයේ නියුතු කම්කරුවන්ට මිස ඒවා සෙවිලි කළ නිවෙස් වල වාසය කරන්නන්ට රෝග අවදානමක් ඇතිබව තවම තහවුරු වී නැති නිසා අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැත. එහෙත් ප්‍රවේසම් වීම කොහොමත් හොඳය.

lankaviews



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 140899730472924793

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item