මාධ්‍යවේදීන්ට යහපාලනයේදී කියන්නේ ගෙම්බා, රීරියකා කියලද.. අගමැතිගේ හැසිරීම පසුපෙල මන්ත‍්‍රීවරයෙකුටවත් සුදුසු නෑ..
අගමැතිවරයා ඊයේ දිනයේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට සිදු කළ තර්ජන තරයේ හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්‍ෂ නායක විමල් ව...

https://www.sathhanda.com/2016/01/blog-post_778.html
අගමැතිවරයා ඊයේ දිනයේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට සිදු කළ තර්ජන තරයේ හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පක්‍ෂ නායක විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ඊයේ(28) පාර්ලිමේන්තුවේදී පැවැති කල් තැබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සිදුකළ කතාවට මා හට සභා ගර්භය තුළදී ඇහුම්කන් දීමට නොහැකි වූයේ මා කොළඹින් බැහැර දිස්ත‍්‍රික්කයක දේශපාලන ක‍්‍රියාකාරකමකට සහභාගීවීමට ඒ වන විටත් පිටත්ව ගොස් සිටි බැවිනි. ඒ නිසා අග‍්‍රාමාත්‍යවරයාගේ එම කතාවට මා හට සවන්දීමට සිදු වූයේ රූපවාහිනී නාලිකාවල ප‍්‍රවෘත්ති තුළිනි. එම කතාවට සාවධානව සවන් දුන් මා හට එකවරම හැගී ගියේ එය රටක අග‍්‍රාමාත්‍යවරයකු විසින් නොව සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු විසින්වත් කිසිසේත්ම නොකළ යුතු එකක් බවය.
මේ රට තුළ තම බල පෙරළියට සහාය දුන් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට රිසි සේ කටයුතු කිරීමට ඉඩ දී ඇති නමුත් තම පාලනය ප‍්‍රශ්න කරන, එහි අඩු ලූහුඩුකම් පෙන්වා දෙන මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතනවලට ස්වාධීනව හා නිදහස්ව සිය මතය ප‍්‍රකාශ කිරීමට ඉඩකඩ නොමැත, යන්න අග‍්‍රාමාත්‍යවරයාගේ කතාවේ හරයයි.
මෙවැනි මාධ්‍ය භාවිතයක් රටක මාධ්‍යවේදීන් වෙතින් ඉල්ලා සිටිය හැක්කේ දරුණු ඒකාධිපති පාලනයකටය. එසේ නොමැතිව රනිල් වික‍්‍රමසිංහ මහතා නිරන්තරයෙන් පවසන සම්මුතිවාදයට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන පාලනයකට නොවේ. යහපාලනය යනු තමන්ට හිතවත් පිරිසට වරදාන, වරප‍්‍රසාද ලබාදී රිසිසේ කටයුතු කිරීමට ඉඩහැර එසේ ගැති නොවන පිරිසට මේ ආකාරයට තර්ජනාංගුලිය එසවීම දැයි අපි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් විමසා සිටීමට කැමැත්තෙමු.
තම මතයට විරුද්ධ මතයක් දැරූ පලියට ‘ගෙම්බා’ රීරි යකා’ වැනි වදන් භාවිතා කරමින් වෘත්තීය මාධ්‍යවේදීන් පිරිසකට බැන වැදීම අගමැතිවරයකුට කිසිසේත්ම උචිත නොවන බව එතුමාට නොවැටහීම කණගාටුවට කරුණකි. මෙසේ අගමැතිවරයාගේ තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන් ඉදිරියේදී නිදහස්ව හා ස්වාධීනව තම මතය ඉදිරිපත් කිරීමට පෙර දෙවරක් සිතා බලනු ඇත. එසේම මෙවැනි බරපතළ තර්ජනයකට ලක් වූ මාධ්‍ය ආයතන වෙතින් ද නිදහස් සහ ස්වාධීන මාධ්‍ය භාවිතයක් රටකට බලාපොරොත්තු විය නොහැක.
මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට වත්මන් පාලනය යටතේ ලැබී තිබුණු සීමිත නිදහස පවා අහිමි කරමින් අග‍්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ ආකාරය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු. එසේම මාධ්‍ය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම පිණිස පෙරට එන ලෙස සියලූ ප‍්‍රගතිශීලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.
විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
Related