මාධ්‍ය දඩයම ආරම්භ වුණා - ඒකාබද්ධ විපක්ෂය

මාධ්‍ය මර්දනය සඳහා අවි අමෝරාගෙන ආණ්ඩුව ගෙන යන ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළාදකින බවත්,තොරතුරු දැනගැනීමේ අයිතිය තම පොරොන්දුව කොට ගත් ආණ්ඩුව බ...

මාධ්‍ය මර්දනය සඳහා අවි අමෝරාගෙන ආණ්ඩුව ගෙන යන ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළාදකින බවත්,තොරතුරු දැනගැනීමේ අයිතිය තම පොරොන්දුව කොට ගත් ආණ්ඩුව බලය ලබාගැනීමට එය පාවිච්චි කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආණ්ඩුව ‍මේවන විට කිසිදු චකිතයකින් තොරව තමාට නැඟීමට සහය දුන්නු හිණිමඟට පයින්ගසා ඇති බවයි.

නිදහස් මාධ්‍ය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය තම ප්‍රමුඛ පොරොන්දුව කොට ගත් වත්මන් හවුල් ආණ්ඩුව මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් දඩයම සඳහා පළමුව පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී සිදුකළ බවත්,දෙවනුව විශේෂ ප්‍රකාශ හරහා දඩයමට නීත්‍යානූකූල පරිසරයක් නිර්මාණය කිරීමේ ගෝත්‍රික උත්සාහයක නියැළී සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි. 

එම නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් කරන්නේ මාධ්‍ය නිදහස වෙනුවෙන් උගුරු රුධිරයෙන් නාවාගත් සංවිධාන මේ වන විට නිර්වින්දනය වී සිටින බවත්,එහෙත් වෘත්තිය මාධ්‍යවේදීන්ගේ ආත්ම ගරුත්වය සහ නිදහස වෙනුවෙන් තම තමන්ගේ පෑන්, තෙළිතුඩ, කාච සහ හඬ මෙහෙයවීම තවදුරටත් ප්‍රමාද නොවිය යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.

එමෙන්ම රටක මාධ්‍යයක් විසින් ප්‍රකාශයට පත් කළ යුතු කරුණු මොනවාදැයි කියාදීමට ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ මන්ත්‍රීවරයෙකුගේ කාර්යක් නොවන බවත්,සමාජ මාධ්‍ය ජාලා අසංස්කෘතිකව මෙහෙයවමින් බලය ලබාගත් ආණ්ඩුවක් ගිළිහී යන මහජන විශ්වාසය හමුවේ නිරෝගී මාධ්‍ය සංස්කෘතියක් ගැන කතා කිරීම හා උපදෙස්දීම විකාරරූපි බව එකී නිවේදනයෙන් කියයි.

හීලෑ විපක්ෂයක්, හීලෑ පුරවැසි සංවිධාන, හීලෑ වෘත්තිය සමිති, හීලෑ ආගමික පූජකයින් හා හීලෑ මාධ්‍යය නිර්මාණය කොට ගෙන ආණ්ඩුව මේ සැරසෙන්නේ හීලෑ පුරවැසියන් නිර්මාණය කරගැනීමට බවත්,නයි නටවන්නාගේ පළමු ක්‍රියාමාර්ගය වනුයේ දත් ගලවා නයා හීලෑකර ගැනීම බවත් ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1833796306619612240

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item