යුක්තිය වෙනුවෙන් සටන්කර දංගෙඩියට ගිය නීතිඥයෝ
ජවිපෙ 2වැනි කැරැල්ල තීරණාත්මක හා සංවිධානාත්මක ලෙස පරාජය කිරීමට ජවිපෙ මගින් සිදුකරන ඝාතනවලට එරෙහිව එජාප ආණ්ඩුවද දරදඩු මර්දන පියවරක් අනුග...

https://www.sathhanda.com/2016/03/blog-post_341.html
ජවිපෙ 2වැනි කැරැල්ල තීරණාත්මක හා සංවිධානාත්මක ලෙස පරාජය කිරීමට ජවිපෙ මගින් සිදුකරන ඝාතනවලට එරෙහිව එජාප ආණ්ඩුවද දරදඩු මර්දන පියවරක් අනුගමනය කළේය. ඒ වෙනුවෙන් ජවිපෙයැයි හඳුනාගත් ක්‍රියාකාරිකයින්, හිතවතුන් සහ සහාය දක්වන්නන් බිය වැද්දීම්, බෝම්බ ගැසීම්, පැහැරගෙන යෑම්, ඝාතනය කිරීම් ඇරඹිණි. මේවා සිදුකරන ලද්දේ ආරක්ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අර්ධ මිල්ටරි කණ්ඩායම්වූ ප්‍රා, උකුස්සෝ, ස්‍රා, රාජාලියෝ, කහ බළල්ලු, කළු බළල්ලු සහ කොල කොටි වැනි සංවිධාන මගිනි. මෙමගින් ජවිපෙට එරෙහි අරගලය ශක්තිමත්වීම සහ එජාපයට එරෙහි ජවිපෙ ප්‍රහාරයන් ශ්‍රිලනිප, වාමාංශිකයින් සහ ජවිපෙ අතර කෙරෙන යුද්ධයක් බවටද පත්විය.
මෙම ඝාතන, අතුරුදහන්වීම් සහ පැහැරගෙන යෑම් පිළිබදව අධිකරණයට හබයාස් කෝපුස් නඩු ගොනු කිරීමටද ඒ පිළිබඳ පුළුල් දැනුවත් කිරීමක් ජාත්‍යන්තරව සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ සඳහා කොළඹ, ගාල්ල, නුවර, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 16ක දිස්ත්‍රික් මානව හිමිකම් සුරැකීමේ කමිටු පිහිටුවන ලදී. පුරවැසි කමිටු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් නිතිඥයින් හරහා හබයාස් කෝපුස් නඩු විශාල ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වසර 1990 මාර්තු වනවිට දක්වා උතුරු නැගෙනහිර හැර රටේ සෙසු පළාත්වල පැහැර ගැනීම් වලට එරෙහිව ඉදිරිපත් වූ හබයා කෝපූස් නඩු සංඛ්‍යාව 2,000කට ආසන්නය. නිදසුනක් ලෙස 1989 ප්‍රථම මාස 8තුළ පමණක් ඉදිරිපත්වූ හබයාස් කෝපූස් නඩු සංඛ්‍යාව 431කි. කොළඹ දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපතිවරයා හබරාදූව හිටපු මන්ත්‍රී අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර වූ අතර සමලේකම්වරුන් වූයේ නීතිඥ චරිත ලංකාපුර සහ නීතිඥ කාංචන අබේපාලය. කැලණි සරසවියේ ආචාර්ය හේමා ගුණතිලක එහි භාණ්ඩාගාරික වූ අතර ලියුම්කරු එහි සංවිධායක විය. සතියකට කිහිපවරක් කොළඹ 07 ප්‍රින්ස් ගුණසේකර නිවසේ රැස්වී අදාළ වැඩසටහන් සැලසුම් කළහ.



නීතිඥ චරිත ලංකාපුර ඇල්පිටිය ආනන්ද විදුහලෙන් ප්‍රථමික අධ්‍යාපනය ලැබූ අතර කොළඹ නීති පීඨයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.කොළඹ සරසවියේ නීති පීඨයේ ප්‍රථම පැවිදි ශිෂ්‍යයා වශයෙන් ලංකා හිමි නමින් ඇතුළත්ව දෙවන වසරේදී උපැවිදිවූ චරිත ලංකාපුර අසූව දශකය මුල්භාගයේදී කොළඹ සරසවියේ ප්‍රබල ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු විය. කොළඹ සරසවියේ වානිජ පීඨයට තේරී ආ ප්‍රථම පැවිදි ශිෂ්‍යයා වූයේ ගිලිමලේ සුමන හිමිය. චරිත ලංකාපුර ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද්දේ කොම්පඤ්ඤවීදියේ ග්ලැඩිවින් ලේන්හි නවාතැනේදී 1989 ජුලි 07වැනිදා පස්වරු 2.00ටය. මියයන විට ඔහුගේ බිරිඳ චිත්‍රා ගැබිනි මවක්වූ අතර වසර 2016 වනවිට එම දියණිය වන හංසිකා තිලිණි ලක්මාලි කැළණි සරසවියේ විද්‍යා උපාධිධාරිණියක්ද විය. නීතිඥ ලංකාපුර ඝාතනයෙන් පසු 1989 ජුලි 08වැනිදා අවසන් ගෞරවය සඳහා කොළඹ වෛද්‍ය විද්‍යාලයට ගෙනවිත් තබන ලදී. කොළඹ දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ අරමුණ වූයේ වෙද සිසු ත්‍රීමා විතාන ඝාතනය මෙන් සංවිධානාත්මක සහ දැවැන්තව එම ආදාහන කටයුතු සිදුකිරීමය. ලියුම්කරු එදින දවස පුරාම වෛද්‍ය විද්‍යාලයේ ගතකල අතර වෛද්‍ය විද්‍යාලයම දිස්වූයේ සටන් කඳවුරක් ලෙසිනි. දෙපසම ගේට්ටු බංකු සහ යකඩ වැටවල් යොදා අවහිර කර තිබූ අතර ආදානයට ගෞරව දැක්වීම සඳහා එක් පෝලිමක් පමණක් පෙලගස්වා තිබිණි. එය සැතපුමක් පමණ දිගය.
එදින පැමිණෙන හිතවතුන්ට දිවා ආහාරය ලොකු කල්දේරම්වල පිසුවේ වෛද්‍ය සිසුවියන් විසිනි. ලියුම්කරුත්, නීතිඥ කාංචන අබේපාලත් ආපන ශාලාවේදී අන් අය සමඟ දිවා ආහාරය ලබා ගන්නා ලදී. වෙද සිසු සරත් කොල්ලුරේ ශබ්ද විකාශන යන්ත්‍රයකින් පිරිස මෙහෙයවමින් සිටියේය. අන්තරේ හිටපු කැඳවුම්කරු සහ ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෙද සිසු වෙනුර එදිරිසිංහ සංවිධාන සැලසුම් සකස් කළේය. හරියටම එදින එනම් 1989 ජුලි 08වැනිදා පස්වරු 2.10ට ආරක්ෂක හමුදා තාප්පයෙන් පැන වෛද්‍ය විද්‍යාලයට කඩා වැදී විනාඩි කිහිපයක ක්ෂණික මෙහෙයුමකින් නීතිඥ ලංකාපුරගේ දේහය රැගෙනවිත් පාරේ තිබූ අවමංගල්‍ය රථයකට ඇතුල් කළේය. එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන දිනේෂ් ගුණවර්ධන සහ ජනක් අධිකාරිද නීතිඥ කාංචන අබේපාලද ඒ පිළිබදව විමසීමේදී පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව ඔවුන්ට දේහය භාරදීමට කටයුතු කල බව ඔවුහු පැවසූහ. නීතිඥ ලංකාපුරගේ බිරිඳ සහ සොහොයුරෙකුද ඔවුහු හඳුන්වා දුන්හ. අනතුරුව දේහය හෙලිකොප්ටරයක් මගින් ඇල්පිටියට ගෙනයන ලදී.

නීතිඥ සනත් බණ්ඩාර කරලියද්ද නුවර දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සංවිධායකවූ අතර තෙල්දෙණිය මහ විද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ සිසු ඝාතන ඇතුළු ඝාතන සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව තෙල්දෙණිය මහේස්ත්‍රාත් නීල් පෙරේරා ඉදිරියේ අධිකරණයට පැවරූ නඩුවලදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු 1989 ඔක්තෝබර් 26 පස්වරුවේ ආරක්ෂක අංශ මගින් පැහැරගත් අතර පසුවදා උදෑසන ඝාතනය කරන ලද ඔහුගේ සිරුර ප්‍රධාන මාර්ගයේ දමා තිබිණි. ඔහු සතුව තිබු රුපියල් 19,000ක මුදලක් සහ පැලඳ සිටි රන් ආභරණද පැහැර ගන්නා ලදී. රතු මකරු නම් ඝාතක කණ්ඩායම ඔහුගේ අවමංගල දිනයේදී එහි වගකීම භාරගනිමින් නුවර ප්‍රදේශයේ පෝස්ටර් අලවා තිබිණි. නුවර දිස්ත්‍රික්කයේ මානව හිමිකම් කඩවීම් රැසක් පිළිබඳව ඔහු අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය. නීතිඥ කරලියද්දගේ ලිපිකරු වූ සේන රන්කොත්ගේද තවත් නීතිඥවරයෙකුගේ ලිපිකරුවූ එඩ්වඩ් කුලතුංගද පැහැරගෙන ගිය අතර ඔවුන්ද ඝාතනයකර තිබිණි. ගම්පහ නීතිඥ නෙවිල් සී. නිශ්ශංක ආරක්ෂක අංශවල අර්ධ මිල්ටරි කණ්ඩායමක්වූ ප්‍රා සංවිධානය මගින් 1989 ඔක්තෝබර් 03වැනිදා පැහැරගෙන ගිය අතර දිනකට පසු ඝාතනය කරන ලද ඔහුගේ සිරුර නිවස ඉදිරිපිට දමාගොස් තිබිණි.
නාවල පදිංචි ජේෂ්ඨ නීතිඥයෙකුවූ ටියුඩර් කීර්තිනන්ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි සභිකයෙකු වශයෙන් කටයුතුකල අතර එජාපයේ ජාතික සේවක සංගමයේ සමාරම්භකයින් තිදෙනාගෙන් එක් අයෙකි. ටියුඩර් 1960 මාර්තු මහා මැතිවරණයේදී නාවලපිටිය ආසනයට එජාපයෙන් තරඟ කළේය. තිදරු පියෙකුවූ ඔහුගේ බිරිඳ කාමල්ය. ජවිපෙ කැරළිකරුවන් විසින් නීතිඥ කීර්තිනන්ද 1988 ඔක්තෝබර් 24වැනිදා ඝාතනය කරන ලදී. අනුර හොරේෂස්ගේ ගිණි අවි සහ ගිණිකෙලි ග්‍රන්ථයේ සඳහන් වන්නේ පතාලයේ 'කමල සහන්' ප්‍රබල දේශපාලඥයෙකුගේ උපදෙස් මත මෙම ඝාතනය සිදුකල බවකි. පවුලේ අයගේ මතය වන්නේ මෙය නොවිසිදුණු අපරාධයක් බවය. ටියුඩර්ගේ වැඩිමහල් දරුවා වන්නේ ජගත් සම්මානලාභී චිත්‍රපටි අධ්‍යක්ෂවරියක්වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දය. ඉනෝකා සත්‍යාංගනී 2005 දෙසැම්බර් 4වැනිදා ඉරුදින පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ තමාගේ ප්‍රථම පෙම්වතාවූ කොළඹ වෛද්‍ය පීඨයේ තෙවන වසර ශිෂ්‍යයෙකුවූ වසන්ත කුමාර කුලතුංගද ඝාතනයටවූ බවය. ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි ශිෂ්‍යයෙකුවු කුමාර කුලතුංග රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ සටනේ නායකයෙකුවූ අතර ආරක්ෂක අංශ මගින් 1989 දෙසැම්බර් 11වැනිදා දෙහිවල කටු චිකිස්සා වෛද්‍ය නේවාසිකාගාරයේ සිටියදී පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය.

සරත් සේපාල රත්නායක ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවූ අතර කොළඹ සරසවියේ නීති උපාධිධාරියෙකු වශයෙන් 1975දී සමත්විය. ඔහුගේ පියා වුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ 1956 බණ්ඩාරනායක රජයේ කණිෂ්ඨ ඇමතිවරයෙකුවු සේපාල රත්නායකය. නීති වෘත්තියට 1978දී ඇතුළත්වූ සරත් සේපාල රත්නායක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කොළඹ නීති පුස්තකාලයේ ලේකම් වශයෙන්ද කලක් කටයුතු කල අතර නීති පොත් ගණනාවක් සිංහලට පරිවර්ථනය කල ලේඛකයෙකි. මානව හිමිකම් නඩු වෙනුවෙන්ද පෙනී සිටි සේපාල රත්නායක 1989 පෙබරවාරි මස පැවති මහ මැතිවරණයේ ශ්‍රිලනිප අපේක්ෂකයෙකු වශයෙන් සිටියදී ජවිපෙ කැරළිකරුවන් විසින් ඝාතනය කරන ලද්දේ 1989 ජනවාරි 22වැනිදාය. මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සමාජය මෙහෙයවීමෙන් සේපාල රත්නායක අනුස්මරණ භාරකාර අරමුදලක්ද පසුකාලීනව ස්ථාපිත කරන ලදී.
වීරකැටිය බුද්ධියගමදී 1939 ජුනි 18වැනිදා උපන් නීතිඥ ජේ. ඇම්. දේශප්‍රිය බණ්ඩාර වලස්මුල්ල ගම්කාර්ය සභාවේ වසර 18ක් සභාපතිවරයා වශයෙන් කටයුතු කල 1981දී මියගිය ෆැන්සිස් බණ්ඩාරගේ ප්‍රත්‍රයාය. ෆැන්සිස් බණ්ඩාරගේ මවවූයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ එකම නැන්දාවූ දෝන කතිරිනා රාජපක්ෂය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු ගල්ඹය ව්‍යාපාරයේ සිවිල් ඉංජිනේරුවෙකු වශයෙන් සේවය කල දේශප්‍රිය බණ්ඩාර දේශපාලන පලිගැනීම් හේතුවෙන් ඉන් ඉවත්ව 1973 නීති විද්‍යාලයට ඇතුල් විය. ඇඹිලිපිටිය කොලොන්න ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාවූ දේශප්‍රිය, ඇඹිලිපිටියේ අධිකරණයේ සේවය කල ප්‍රකට නීතිඥයෙකි. නීතිඥ සරත් මුත්තෙට්ටුවගේ පොදුජන දේශපාලනයේ නොසැලෙන ගමන් සගයෙකුවූ දේශප්‍රිය ඔහු යටතේ නීතිඥයෙකු වශයෙන්ද කලක් සේවය කළේය. ජවිපෙ කැරළිකරුවන් විසින් 1989 අප්‍රේල් 25වැනිදා පස්වරු 7.30ට ස්වයංකීය ගිණි අවියකින් වෙඩිතබා ඔහු ඝාතනය කර තිබිණි. නීතිඥ දේශප්‍රිය බණ්ඩාර සයදරු පියෙකු වූ අතර දෙවැන්නා වූයේ පසුකලෙක මහේස්ත්‍රාත්වරයෙකු සහ සන්ධානයේ 2010 ජාතික ලැයිස්තුවෙන් පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ ජානක බණ්ඩාරය.

කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ මධ්‍යම කාරක සභිකයෙකු වූ සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වූ නුවර වත්තේගෙදර උපන් ගාමිණී මැදගෙදර පොළොන්නරුවේ පදිංචිකරුවෙකි.එජාප ආණ්ඩුව 1977දී බලයට පත්වීමත් සමඟම ඔහුගේ නිවස ගිණිබත්කර රැකියාව අහිමි කළේය. උන්හිටි තැන් සහ ජීවන මාර්ගය අහිමිවුවද ගාමිණී ධනපති විරෝධී අරගලය අත්හරිනු නොලැබීය. දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙකුවූ ඔහු කොළඹ සරසවියේ නීති උපාධිධාරියෙකුද වූ අතර නීතිඥයෙකුද විය. සිව් හැවිරිදි දරුවෙකුගේ පියෙකුවූ ගාමිණි, සොයුරු සොහොයුරියන් 11 යුත් පවුලේ වැඩිමලා වශයෙන් එම යුතුකම්ද නොපිරිහෙලා ඉටුකල අයෙකි. ජවිපෙ 2වැනි කැරැල්ලේ පුද්ගල ඝාතන දේශපාලනයේ 3වැනි ගොදුර වශයෙන් 1988 පෙබරවාරි 12 පස්වරු 2ට පාසලේ සිට නිවසට පැමිණෙමින් සිටියදි මහමගදි වෙඩි තැබීමෙන් ඝාතනට පත්විය. ජවිපෙ තර්ජන හේතුවෙන් මරණ පරික්ෂණය කිරීමට පොළොන්නරුවේ මරණ පරික්ෂකවරයා පසුබටවූ හෙයින් මාතලෙන් මරණ පරික්ෂකවරයෙක් ගෙන ඒමට සිදුවිය. දේහය තැන්පත් කිරීම සදහා පෙට්ටියද ගෙන යන ලද්දේ කොළඹිනි. ආගමික වතාවන් පොළොන්නරුව නිවසේදී කිරීමෙන් අනතුරුව දේහය මිහිදන් කරන ලද්දේ සීදුවේදීය.
මෙසේ ඝාතනයට ලක්වූ නීතිඥයින් 15 දෙනාගෙන් සෙසු අයවූ වර්ණපාල රණතුංග, ඒ. ඩබ්ලිව් වෙත්තසිංහ, සී.ඩබ්ලිව්.ජේ.කේ වීරමන් සහ ඒ.ඩබ්ලිව් වික්‍රමසිංහ යන නීතිඥවරුන් ඝාතනය කිරීමේ චෝදනාව එල්ලවූයේ ආරක්ෂක අංශ වෙතය. මෙසේ 1986 සිට 1990 දක්වා ජවිපෙ 2වැනි කැරළි සමයේ ඝාතනයට ලක්වූ නීතිඥයින් 15 දෙනාට අමතරව එම කාලයේදී ආරක්ෂක අංශ සහ ජවිපෙ කැරළිකරුවන් මගින් නීතිඥවරුන් 12 දෙනෙකු පැහැරගෙනයෑම් ඇතුළු තාඩන පීඩන වලට ලක්වූ අතර තවත් නීතිඥවරුන් 21දෙනෙකුට මරණීය තර්ජන එල්ලවී තිබිණි.

මරණ තර්ජන වලින් බේරීම සඳහා නීතිඥයින් කිහිපදෙනෙක් විදේශ රටවලට සංක්‍රමණයවී දේශපාලන රැකවරණ ලබාගත්හ. ඉන් පුමුඛ අයෙකු වූයේ 1989 සැප්තැම්බර් 2දා බ්‍රිතාන්‍යයට සිය දියණිය සමඟ සංක්‍රමණයවු අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකරය. ඔහුගේ කණිටු නීතිඥයින් තිදෙනෙක්ද ඒ වනවිට ඝාතනයකර තිබිණි. ප්‍රින්ස්ගේ බිරිඳ සහ අනෙක් දියණියද 1989 සැප්තැම්බර් 8දා බ්‍රිතාන්‍යයට පැමිණියහ. ගාල්ල කතලුවේදී 1924 ජුලි 17 උපන් ප්‍රින්ස් ගුණසේකර වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලබා කොළඹ සරසවියට ඇතුල් විය. පසුව උපාධිය අතහැර පූර්ණ කාලීනව දේශපාලනයට පිවිසි ඔහු ලන්ඩන් සාමාන්‍ය බාහිර උපාධිය සමත්වීමෙන් පසු ලංකාදීප පුවත්පතේ පළමුවැනි ප්‍රධාන උප කර්තෘ විය. පසුව නිති විද්‍යාලයෙන් 1955දී සමත්ව නීතිඥයෙකුවූ ඔහු 1968 මාර්තු සහ 1970 පාර්ලිමේන්තු මැතිවරණවලින් ජයග්‍රහණය ලැබීය. හැත්තෑ එකේ කැරැල්ලේ සිදුවූ මානව හිමිකම් කඩවීම් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර ඇමනස්ටි ඉන්ටනැෂනල් ආයතනයට 1971 ජුලි මස ගිය ශ්‍රිලනිපයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රින්ස් කල ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට 1971 අගෝස්තු මස ඒච්බරි සාමිවරයා පැමිණි අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය සියැසින් දැක අනතුරුව නිකුත් කල වාර්තාවෙන් විශාල ආන්දෝලනයක් ඇති විය. ජවිපෙ 2වැනි කැරළි සමයේ බ්‍රිතාන්‍යයේ රැකවරණ ලබාගත් ප්‍රින්ස් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම පිළිබඳව ලොව දැනුවත් කල අතර වින්දිතයන්ගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටියේය.

මානව හිමිකම් නඩුවලට ඉදිරිපත් වූ නිතිඥවරුන් ඝාතනයවීම වැලැක්වීමටත් ඔවුන්ගේ බිය පහකිරීමටත් ශ්‍රී ලංකා නිතිඥ සංගමය පසුව එවැනි නඩු සියල්ලම භාරගෙන නිතිඥ සංගමය යටතේ නිති ආධාර කේන්ද්‍රය මගින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදනු ලැබීය. ජේෂ්ඨ නිතිඥවරුන් එම ක්‍රියාවට සද්භාවයෙන්ම එක්වූ අතර එම යෝජනාව ඉදිරිපත් කළේ ජේෂ්ඨ නිතිඥ ආර්. කේ. ඩබ්ලිව් ගුණසේකරය. එමෙන්ම පාලින්ද රණසිංහ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ ජී.පී.එස්. සිල්වා, මාක් ප්‍රනාන්දු, ඒ.ආර්.බී අමරසිංහ, ඉරත්ත වැනි විනිසුරුවරුන් විසින් භීෂණ සමයේ අත්අඩංගුවට ගෙන සිටි රැදවියන් දහස් ගණනකට තමාගේ මව් භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමටද අවසර ලබාදුන්නේ මානව හිමිකම් නිතිඥයින්ගේ ක්‍රියාදාමය තවදුරටත් අගය කරමිනි. ඒ සඳහා ඔවුන් උපයෝගි කරගනු ලැබුවේ ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කල ප්‍රතිපත්තියවන ඕනෑම කෙනෙකුට ඕනෑම අසාධාරණයකට එරෙහිව නිතිඥවරයෙකුගේ සහායක් නොමැතිව හෝ හුදු තැපැල් පතකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ දොර විවෘත කිරීමට හැකිබව පෙන්වා දෙන ලද නඩු තීන්දුවක් උපයෝගි කරගනිමිනි.
ඝාතනයට පත්වූ මෙම නීතිඥවරුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මානව හිතවාදීන් වූහ. කළු කබා පැලඳ ගෙන සිටියද මිල මුදල් පසුපසම හඹාගිය අය නොවේ. බලය රැකගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටි පාලකයින් ගෙන් අසත්‍යය, අයුක්තිය, අසාධාරණය, අවනීතියට එරෙහිව පීඩාවට පත්වූ අසරණයින් වෙනුවෙන් නීති ඉදිරියේ පෙනී සිටියේ ගාස්තුව යන්න සහමුලින්ම වාගේ අමතක කොටය. ඔවුන් විසින් උසාවියට ඉදිරිපත් කරන ලද දෙදහසකට අධික හබයාස් කෝපුස් පෙත්සම් වලින්ම ඒ බව මැනවින් පැහැදිලි වේ. මෙය මානව අයිතීන් උල්ලංඝණය කිරීම්වල නිරන්තරව යෙදී සිටින පාලකයින්ට පමණක් නොව අවිගත් කැරළිකරුවන්ටද දැඩි අභියෝගයක් විය. ඔවුහු ජීවත්වීමේ අයිතිය පැහැර ගනිමින් මෙම නීතිඥයින් 15දෙනා සදාකාලිකව නිහඬ කලහ. එසේ එම මානව හිතවාදී නීතිඥවරුන්ගේ ජීවත්වීමේ අයිතිය පැහැරගනු ලැබූවද ඔවුන්ගේ නාමය මානව හිමිකම් සුරකීමේ ඉතිහාසය තුළ සදාකාලිකව විරාජමානය.
(ජවිපෙ 2වැනි කැරළි සමයේ එනම් 1986 සිට 1990 දක්වා ඝාතනයට, තර්ජනයට සහ රට අතහැරයෑමට සිදුවූ නීතිඥයින් පිළිබඳව ඔබ සතුව ඇති ඡායාරූප සහ තොරතුරු පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com) The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384
- ධර්මන් වික්‍රමරත්න
Related