හන්තානෙන් දැරියන්ගේ විළාපයේ මෙතෙක් කතාව

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මානව නිපුණතා වැඩිදියුණු කිරීමේ නේවාසික පාඨමාලාවකට සම්බන්ධව වී සිටි පාසැල් වයසේ පසුවන දැරියන් අපයෝජ...

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මානව නිපුණතා වැඩිදියුණු කිරීමේ නේවාසික පාඨමාලාවකට සම්බන්ධව වී සිටි පාසැල් වයසේ පසුවන දැරියන් අපයෝජනය කිරීමේ සිදුවීමේ තවත් තොරතුරු රැසක් මේවනවිට හෙළි වෙමින් ඇති බව වාර්තා වේ.

ඒ එම ගැහැණු ළමුන් ලබා දෙන තොරතුරුවලට අනුවය.

මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ නැමැති දේශකවරයා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

“මාසයකට විතර උඩදී අපේ ඇකඩමි එකේ ඉගෙන ගනිමින් හිටපු මටත් මගේ මිතුරියකටත් තදබල අසනීප තත්ත්වයක් ඇති වුණා. අපේ නේවාසිකාගාරයේ පාලිකාව අපිට කිව්වා චන්දිමාල් සර් එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරගෙන එන්න කියලා. අපි ගියේ සර්ගේ කාර් එකේ. මුලින්ම සර් අපෙන් ඇහුවා ඔයාලා බොන්න කැමැති මොනවද කියලා. අපි මොනවත් කිව්වේ නෑ. ඒත් සර් අපිට ෆේස්ට්‍රි වගයකුයි කිරි තේයි අරන් දුන්නා.

ඊට පස්සේ ඩිස්පැන්සරියකට එක්කගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නා. අන්තිමට සර් අපිව මහනුවර නගරයේ සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙද සලකට එක්කගෙන ගියා. ඔයාලා අඳින්න කැමැති මොනවද කියා සර් අපෙන් ඇහුවා. එහෙම කියලා සර් අප එක්කගෙන ගියේ කාන්තා යට ඇඳුම් තියෙන තැනට. අඩුම ගානේ මේවා වත් ගන්න කියලා සර් අපිට කිව්වා. ඊට පස්සේ සර් අපිට යට ඇඳුම් කීපයක් බලෙන්ම වගේ අරන් දුන්නා. ඒත් එක්කම සර් මගේ මිතුරියගේ කරට අත දැම්මා.”

මේ ප්‍රකාශය මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පොතේ සටහන් වී ඇත්තේ නේවාසික අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලැබු වයස අවුරුදු 16 සහ 17 පසු වූ සිසුවියන් දෙදෙනකුගේ සාක්ෂි අනුවයි.

ගෙමිදුලේ මත්පැන් සාදයක් :

දිනය පසුගිය ජුලි 31 වැනිදායි. කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදා වෙමින් තිබිණු අතර සිසුවියන් පිරිසට වෙනදා මෙන් නොව මොකක්දෝ අමුත්තක් දැනෙන්නට පටන් ගෙන තිබුණේ නේවාසිකාගාරයේ පාලිකාව එහි මුළුතැන්ගෙට ගොස් මස් බදින්නට වී ඇති නිසායි.

මේ අතරතුර නේවාසිකාගාරයේ හිමිකරු වන චන්දිමාල් තම අතිශය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු සහ තවත් සගයන් කීප දෙනෙකු සමග නේවාසිකාගාරය පිහිටි භූමියේ ඇති ගෙමිදුලේ මත්පැන් සාදයක් ආරම්භ කරන්නේ රාත්‍රී දහයට පමණයි.

“එදා රෑ නවය දහය වෙනකොට අපේ මිතුරියන් අතරින් ගොඩක් අයට හොඳටම නින්ද ගියා. ඒත් අපි කීප දෙනෙක් පාඩම් කරමින් හිටියේ. රෑ දහයට විතර තමයි අපිට මිදුල පැත්තෙන් කටහඩවල් ඇහෙන්න පටන් ගත්තේ ඒ නිසා අපි හොරෙන් ජනෙල්වලින් බැලුවා. එතකොට තමයි අපි දැක්කේ චන්දිමාල් සර් එක්ක අපි දන්න මහනුවර අංකල් කෙනෙකුත් තවත් කීප දෙනෙකුත් එක්ක අපේ නේවාසිකාගාරයේ මිදුලේ තිබෙන බෙන්ච් එකක අරක්කු බෝතල් තියාගෙන බොනවා . එතකොට රෑ දොළහට දොළහහමාරට විතර ඇති. එත් එක්කම අපි ජනේලය ළඟ තියෙන ලයිට් කීපයක් දැම්මා.

අපේ ගණිතය උගන්වන මැඩම් සර්ලාට මොනවද අරගෙන අපේ ජනෙල් ළඟින් යනකොට එයා අපව දැක්කා. ආ ළමයි තාම නිදි නැද්ද කියලා මැඩම් අපෙන් ඇහුවා. අපි නෑ කිව්වා. ඒත් එක්කම අපි හොඳටම බය වුණා. ඊට පස්සේ තමයි අපි අපේ යාළුවෝ ඔක්කොටම ඇහැරවලා ගත්තේ.”

අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි. ඒ නිසා අපිට එදා ලොකු බයක් ඇති වුණා. ඊට පස්සේ අපේ යාළුවෝ අතර හිටපු කීප දෙනෙක් බයටම වගේ කියන්න පටන් ගත්තා සර් අපිව හෝටල්වලට ගෙනිච්චා. අපේ ඇඳුම් ගැලෙව්වා. අපිට අරහෙම කළා මෙහෙම දේවල් කළා කියලා. මේ වගේ කථා අපේ යාළුවන් අතර හිටපු සමහරු කියන්න පටන් ගත්තා. මේ කථා අහනකොට අපි හැමෝටම හිතුණේ අපි මහා කරදරයක වැටෙන්න නේද යන්නේ කියලා.

අපි දැන් මොනවහරි කරමු කියලා අපි කතා වුණා. ඊට පස්සේ අපි නේවාසිකාගාරයේ ලයිට් දාලා මහා හයියෙන් හිනා වෙන්න, සින්දු කියන්න, කෑගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් චන්දිමාල් සර් සහ එයාත් එක්ක හිටපු අය මිදුලේ හිටපු බෙන්ච් එකේ ඉන්නවා අපි දැක්කේ නෑ.”

විවිධ ලිංගික හිංසනයන්ට :

සිසුවියන්ගේ පාර්ශවය වෙනුවෙන් අධිකරණ කටයුතුවලට සහාය වන නීතීඥ මහතා මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබුණේ මෙවන් ප්‍රකාශයක්.

“සිසුවියන්ගේ ප්‍රකාශ අනුව විවිධ ලිංගික හිංසනයන්ට මේ දරුවන් මුහුණ දී තිබෙන බව අණාවරණය වෙලා තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු මේ අධ්‍යාපන ආයතනයේ හිමිකරු වන චන්දිමාල් ගමගේයි. ඒ වගේම ඔහුගේ ව්‍යාපාරික මිතුරකු වන මහනුවර පේරාදෙනිය පාර කටුකැලේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුටත් චෝදනා එල්ල වෙලා තිබෙනවා.

චන්දිමාල් පසුගිය පොසොන් දිනයේ සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙන්නේ සොකරි නාට්‍ය බලන්න යමු කියලා. එදින එම ලැගුම් හලේදී සිසුවිය සිප වැළද ගෙන යම් ලිංගික හිංසනයක් සිදු කොට තිබෙන බව සිසුවියගේ ප්‍රකාශයකින් අණාවරණය වෙලා තිබෙනවා.

ඒ වගේම චන්දිමාල් ගමගේ නමැත්තාගේ ව්‍යාපාරික මිතුරා පොසොන් දිනයේ තවත් සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙනවා. එම සිසුවිය සිප වැළඳගෙන යම් යම් හිංසනයන් කර තිබෙන බවට කරුණු වාර්තා වෙලා තිබෙනවා.

මේ සියලුම ලැගුම්හල් මහනුවර පොලීසියේ පොලිස් කණ්ඩායම් සමග ගොස් සිසුවියන් විසින් හඳුනා ගෙන තිබෙනවා. එමෙන්ම චෝදනා එල්ලවන ව්‍යාපාරිකයාගේ මහනුවර කටුකැලේ තිබෙන කාර්යාලයට සිසුවියන් දෙදෙනකු ගෙන ගොස් සිප වැළඳ ගෙන තිබෙන බව වාර්තා වෙලා තිබෙනවා. එම් ස්ථානත් සිසුවියන් විසින් පොලීසිය සමග ගොස් හඳුනා ගෙන තිබෙනවා.

පසුගිය 31 වෙනිදා සිදුවු සිදුවීමත් සමග තමයි මේ සියල්ල අණාවරණය වුණේ. කෙසේ වෙතත් ළමයි තමන්ට සිදුවු ලිංගික හිංසනයන් මෙතෙක් සඟවා ගෙන සිටීම කනගාටුදායක තත්ත්වයක්.”

සෑහීමකට පත් විය නොහැකියි :

නේවාසික පාඨමාලාව තුළ තමාට සිදු වන අකටයුතුකම් ඉවසා දරා සිටීමට නොහැකි වූ සිසුවියන් සිව් දෙනකු පසුගිය සඳුදා අලුයම එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියන්ගේ සහාය ඇතිව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මෙම සියලු කරුණු අනාවරනය විය.

පසුගියවර අපොස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ සිසු සිසුවියන්ගේ මානසිකත්වය වර්ධනය කර ඔවුන් නැවත විභාගයට සූදානම් කර දීමේ සය මාසික නේවාසික පාඨමාලාවක් සම්බන්ධව පුවත්පත්වල පල වූ දැන්වීමක් ඔස්සේ ළමුන් ඊට ඇතුළත් කොට ඇති බව වාර්තාවේ.

ළමුන්ගේ දෙමව්පියන් ඒ සඳහා රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක පාඨමාලා ගාස්තුවක්ද ගෙවා තිබේ.

නේවාසික පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට ඔවුන්ගේ දෙමව්පියන් හමුවීමට අවස්ථාව ලබා දී ඇත්තේ මසකට එක් වරක් පමණි.

'දෙමව්පියන්ට දැනුම් නොදී දවස් දෙකක් රාත්‍රියේ මේ ළමයි එලියට එක්කන් ගිහි තියෙනවා. අකටයුතු කම් සඳහා, මගේ දරුවයි තවත් දරුවෙකුයි වාහනයක දා ගෙන ගිහින් තිබෙනවා.' අතවරයට ලක් වූ දැරියකගේ මවක් පැවසුවාය.

සිය දරුවා බැලීමට පැමිණි අවස්ථාවල ඇය සමග නිසියාකාරව අදහස් හුවමාරු කර ගැනීමට බාධා වන ආකාරයට නේවාසිකාගාරයේ පාලිකාවන් හැසිරුණු බවත් ඉහත කී මව වැඩිදුරටත් කියා සිටියාය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් දෙමව්පියෝ පවසති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3624147980628830092

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item