යහපාලන මූලධර්මවලට පටහැණිව 'එට්කා' ගිවිසුම සම්බන්ධව කටයුතු සිදුකරගෙන යාම

මෙම ලිපිය තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද්දකි. එය පහතින් පලවේ අතිගරු ජනාධිපති මෛත්‍රීප...

මෙම ලිපිය තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද්දකි. එය පහතින් පලවේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
අතිගරු ජනාධිපතිතුමනි

යහපාලන මූලධර්මවලට පටහැණිව 'එට්කා' ගිවිසුම සම්බන්ධව කටයුතු සිදුකරගෙන යාම

ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම මේ වසර තුළ අත්සන් කරන බවට ගරු අගමැතිතුමා ඇතුළු රජයේ පාර්ශවය විසින් නිතර ප්‍රකාශ කරනවා අපි දැක ඇත්තෙමු. මෙම ගිවිසුම රටට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් ඉතා තීරණාත්මක ලෙස බලපාන බව පැහැඳිළි කරුණකි. එනිසා එවන් ගිවිසුමක් වෙත එළැබීමේදී යහපාලන මූලධර්මවලින් බැහැරව කටයුතු කිරීමට යම් යම් අය උත්සාහ කරන්නේ නම් එය ඔබතුමාගේ රාජ්‍ය විචාරණ සංකල්පයන්ගෙන් බැහැරවීමක් ලෙස අපි දකිමු.

මෙම ගිවිසුම සම්බන්ධ කටයුතු පිළිබදව අවධානයෙන් සිටීමත්, ඒ පිලිබදව කටයුතු අතලොස්සකගේ සිතැගි පරිදි නොව, නිසි ක්‍රමවේදයකට අනුව සකසා ගැනීමට යොමු කිරීමත් වගකිවයුතු වෘත්තිකයන්ගේසංවිධානයක් ලෙස අපගේ යුතුකමක් ලෙස අපි සළකමු.
මේ සම්බන්ධයෙන් පහත සඳහන් කාරණා පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුවන්නේ නම් එය සමස්ථ රටවැසියන්ගේ සුභසිද්ධිය උදෙසා හේතුවන බව අපි විශ්වාස කරමු.

1. මීට මාස කිහිපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ඔබතුමා අතර පැවැත්වූ සාකච්ඡාවකදී ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා වගකිව යුතු අධිකාරියක් පිහිටුවීමට ඔබතුමා වෙත උත්තරීතර ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව කටයුතු කිරිමට එකඟ වූ බව අසා අපි ඉමහත් සැනසීමට පත්වුයෙමු. නමුත් මෙතෙක් එය ඉටු නොවීම අපගේ බලවත් කණගාටුවට හේතු වී තිබේ.

2. ඉන්දියාව සමඟ දැනට භාණ්ඩ සදහා පවතින නිදහස් වෙළද ගිවිසුමේ හඳුනාගත් ගැටළු රාශියක් ඇත. ඉන්දියාව සමඟ වඩාත් පුළුල් වූ ගිවිසුමකට එළඹීමට ප්‍රථම, දැනට පවතින ගිවිසුමේ ගැටළු නිරාකරණය කර ගැනීමට ඉන්දියානු පාර්ශවය සමඟ සාකච්ඡා කළ යුතු බව මෙරට වෘත්තිකයන් සහ ව්‍යවසාකයන් විසින් වසර ගණනාවක් පුරාවට පෙන්වා දී ඇත. පසුගිය රජය පැවති සමයේද මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරුණු අතර නිදහස් වෙළද ගිවිසුමට අදාළව පවතින ගැටළු නිරාකරණය නොවුනි. නමුත් රට තුළ පවතින විරෝධතාවය මත සේවා ගිවිසුමක් වෙත යාම අත්හිටවන ලදී. එනිසා ඔබතුමාගේ පාලනයක් යටතේ මෙරට වැසියන් බලාපොරොත්තු වන පරිදි විද්‍යානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු නොකොට විනිවිදභාවයෙන් තොරව වෘත්තිකයන්ගේ, ව්‍යවසායකයන්ගේ සහ මහජනතාවගේ අදහස් නොතකා කටයුතු කිරීමට යම් පිරිස් විසින් ගන්නා උත්සාහය ඔබතුමාගේත්, රජයේත් ප්‍රතිරූපයට ඉමහත් අගෞරවයක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

3. ලෝක වෙළඳ සංවිධානය සමඟ ඇතිකරගෙන ඇති ගැට්ස් සම්මුතීන්ට ශ්‍රී ලංකාව එළඹ ඇත්තේ ඉතාමත් අදුරදර්ශී ලෙසය. අනෙක් රටවල සමඟ අපට ගිවිසුම්වලට එලඹිය හැක්කේ එම ගැටස් සම්මුතීන්ට යටත්වය. එම සම්මුතීන්ට අනුව මෙරටට පැමිණෙන වෘත්තිකයන් යටත් කර ඇත්තේ ආගමන විගමන රෙගුලාසිවලට පමණි. නමුත් ඉන්දියාව වැනි රටවල් ඉතා බුද්ධිමත්ව කටයුතු කරමින් සිය රට වෙත වෙනත් රටකින් වෘත්තිකයන් පැමිණීම සීමාකරවන ලෙසය ගැට්ස් බැදිම් ඇතිකරගෙන ඇත්තේ. ශ්‍රී ලංකා රජය විසින් එවක සිදු කර ඇති වරද නිවැරදි කිරීම සේවා ගිවිසුමකට එලැබීමට ප්‍රථම රජය විසින් ඉටු කළ යුතු අනිවාර්ය වගකීමකි.

4. බහුපාර්ශවික හෝ ද්විපාර්ශවික හෝ භාණ්ඩ සහ සේවා නිඳහස් වෙළද ගිවිසුම්වලට එළැඹුමට ප්‍රථම රටේ විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල නියාමනය සහ ආරක්ෂාව සඳහා ගතයුතු මූලික පියවර පිළිබඳව එකඟතාවයකට පැමිණ ඒවා නීතිගත කිරීමට කටයුතු යෙදීම අත්‍යවශ්‍ය කාර්‍යයකි.

5. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජනා කරන එට්කා ගිවිසුමේ වාසි සහ අවාසි පිළිබදව පුලුල් කතිකාවක් ඇති කිරීමට පියවර ගත යුතුය. ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවලදී අප විසින් ඒ බව අවධාරණය කළද එවැනි අවශ්‍යතාවයක් නොමැති බවකි ජාත්‍යන්තර වෙළද කටයුතු ඇමතිවරයාගේ අදහස වුයේ. එම වැරදි ස්ථාවරය නිවැරදි කරමින් ඉන්දියාව සමඟ ඇතිකරගන්නට උත්සාහ දරන එට්කා ගිවිසුමට අදාළ කටයුතු පූර්ණ විනිවිදභාවයකින් මහජනතාව වෙත නිරාවෘත්ත කරමින් සිදු කරන ලෙස ඔබතුමා විසින් උපදෙස් ලබාදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

6. ආර්ථික වශයෙන් ඉන්දියාව සමඟ ඇතිකරගන්නා වෙළද ගිවිසුමක් මඟින් අප රට දැනට මුහුණ දී ඇති ගෙවුම් ශේෂ අර්බුදය තවත් උත්සන්න වන බව අපගේ වැටහීමයි. 2015 වසරේ අපගේ සෘණ වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් බිලියන අටක් පමණ වේ. ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කම වෙළද පරතරයක්, එනම් සමස්ථ වෙළද පරතරයෙන් 40%ක් පමණ ඇති වී ඇත්තේ ඉන්දියාව සමඟ වෙළදාමෙනි. ඉන්දියානු වැටුප් තල සාමාන්‍යයෙන් ලංකාවට වඩා අඩු නිසා සේවා අංශය විවිර කළ විට බොහෝ විට සිදුවනු ඇත්තේ අප විසින් ඉන්දියානු සේවාවන් මිලදී ගැනීමයි. එමඟින් අප රට තුළින් විදේශ විනිමය ඇදී යාම ත්‍රීවුර වනු ඇත. අඩු ප්‍රාග්ධන අංශයන්හි ආයෝජනය කර ලාභාංශ වශයෙන් තවත් මුදලක් රටෙන් පිට වීමද අපගේ ගෙවුම් ශේෂයට අහිතකර බලපෑම් ඇති විය හැකිය. මෙම බරපතල අවදානම් සහගත තත්වය ගැන කිසිදු තැකීමක් මෙම ගිවිසුම වෙනුවෙන් කිසිදු තාර්කික පදනමකින් තොරව, කිසිදු අධ්‍යනයකින් තොරව කටයුතු කරන ඇමතිවරුන්ගෙන් හෝ ඔවුගේ ආර්ථික උපදේශකයෙන්ගෙන් හෝ දැකිය නොහැකිය. එනිසා මේ පිළිබදව ආර්ථික වශයෙන් යළි සලකා බලමින් තාර්කික ප්‍රවේශයකට අනුව කටයුතු කිරීම සදහා ඔබතුමා නායකත්වය සපයනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

7. වෘත්තිකයන් විසින් වෙළද කටයුතු අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවකදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව කිසිදු අධ්‍යයනයක් ඔවුන් විසින් සිදු කර නැති බව හෙළි විය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වැනි මෙරට දූ පුතුන්ට විශාල වශයෙන් රැකියා සැපයිය හැකි, විශාල වශයෙන් විදේශ විනිමය ඉපැයිය හැකි, නව දේශීය ව්‍යවසායකයන් බිහි කරගත හැකි ක්ෂේත්‍රක් සම්බන්ධයෙන් මෙතරම්ම අදූරදර්ශි ලෙස ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබඳ සුදුසු පියවරක් ඔබතුමා විසින් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

ඉහත සඳහන් කරුණු වෙත ඔබතුමාගේ නොමද අවධානය යොමුවනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

පිටපත්: ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනමාධ්‍ය ආයතන


කපිල පෙරේරා, සභාපති
ලසන්ත වික්‍රමසිංහ, ලේකම්
තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6055225225472286540

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item