ආණ්ඩුව මාධ්‍යවේදීන් නොමරා මරණ හැටි බලාගන්න පුළුවන් වෙයි

කලක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර අද ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් ලෙසින් කටයුතු කරන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ...

කලක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර අද ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් ලෙසින් කටයුතු කරන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න හා වත්මන් දේශපාලන වාතාරවරණය සහ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව 'අද' පුවත්පත සමග  කළ සංවාදයකි.

Q වත්මන් දේශපාලන වාතාරණය පිළිබඳව ඔබේ අදහස?

මේ වනවිට රට තිබෙන්නෙ දේශපාලන වශයෙන් යම් ව්‍යාකූල තත්ත්වයක. එක පැත්තකින් ප්‍රභාකරන්ට අවුරුදු 30ක් පුරා තුවක්කුවෙන් ගන්න බැරිවුණු අරමුණට නීත්‍යානුකූල වටිනාකමක් දීලා, වෙන පාරකින් ඒකට පණ දෙන්න හදනවා. අනිත් පැත්තෙන් ආර්ථිකය කඩා වැටිලා. රාජ්‍ය සේවකයන් පණ නැති අය බවට පත්වෙලා, සිසුන්ට විරෝධතාවයකට පාරට බහින්න විදියක් නැති තැනට පත්වෙලා. ඒවගේම අපේ ආගමට තියෙන තැන නැති වෙමින් පවතිනවා. මහින්ද මහත්තයට වඩා හොඳ කෙනෙක්ව පත්කර ගන්න මිනිස්සු ජනවාරි 08 වෙනිදා කටයුතු කළා. ඒ කනගාටුව, පසුතැවීම අද කාගෙත් සිත් තුළ තියෙනවා.
Q ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා පක්ෂ සම්මේලනයේදී පවසා සිටියා ඉදිරි මැතිවරණවලදී එම පක්ෂය අත ලකුණින් තරග කරන බව. මේ කාරණය පිළිබඳ ඔබේ අදහස?

අත ලකුණින් තරග කරනවා කියල දේශපාලන තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි ඒ අයගේ තීන්දුවට අත දෙන්නෙ කවුද කියලයි ප්‍රශ්නෙ. ඔවුන්ගෙ අරමුණ ඉෂ්ට කරගන්න කවුද සහයෝගය දෙන්නෙ කියලයි ප්‍රශ්නෙ. අද වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්, මොකක්ද මේ පක්ෂයට කරන්න යන්නෙ කියලා අඳෝනාවක් බවට පත්වෙලා තියෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නෙ රනිල් මහත්තයගේ සිරිකොතේ කුණු මුල්ලේ. ඒ පක්ෂය වටේ හිටිය මිනිස්සු, ප්‍රතිපත්ති වෙනුවෙන් ගැටුම් ඇතිකර ගත්ත අය, අද හූල්ල හූල්ල බලන් ඉන්නවා, අපි මේකටද දරදිය ඇද්දෙ කියලා. අත ලකුණින් නෙමෙයි ඔළුවට අත තියන් මේ අය ඉල්ලුවත් ජයග්‍රහණය කරන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක එන නව පක්ෂය පමණයි. 

Q එසේනම් බැසිල් රාජපක්ෂ මහතා කියූ පරිදි නව පක්ෂයක් ඉදිරියේදී බිහිවෙනවා?

ඔව් ඒක ඇත්ත. එයට අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. අපට ලකුණ මොකක්ද, සන්ධානය මොකක්ද කියල අදාළ නැහැ. මේ රටේ මිනිස්සු ජනවාරි 08 වෙනිදා කියල දුන්නෙ අමුතු පාඩමක්. ඒ පාඩම මං හිතනවා මේ රටේ මිනිස්සුන්ට දේශපාලනය ගැන අමුතුවෙන් හිතන්න ඉඩ දුන්නා. ඒ නිසා අපි හදන සන්ධානයත් එක්ක ඉදිරියේදී මේ රටේ මිනිස්සු අනිවාර්යෙන් මහා ලොකු බලපෑමක් ආණ්ඩුවට කරනවා. ඒ වගේම අලුතින් හදන ලකුණින් හා සන්ධානයෙන් අනිවාර්යයෙන් අපි ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරනවා. මොකද පාද යාත්‍රාවට එන්න බැරිවුණ දස දහස් ගණනක් බලාගෙන ඉන්නවා මේ වෙනස කරන්න. ළඟදීම එය සිද්ධ වෙනවා. 
Q නව පක්ෂයක් බිහිවීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමක් සිදුවෙනවා නේද?

නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමක් වෙන්නෙ නැහැ. ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයගේ බලවේගයත් එක්ක. එතන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරිස්සම් කරන්නෙ සහ පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක ජීවත් වෙන මිනිස්සු ඉන්නෙ. අපි සංඛ්‍යාත්මකව බැලුවොත් ඡන්ද ප්‍රමාණයත් එක්ක 96% ක් මහින්ද මහත්තයා එක්ක. 4% යි ඒ අයට ඉන්නෙ. ඒ නිසා දෙකඩ වීමක් වෙලා නැහැ. මුලින් පොත්තක් ගැළවිලා තියෙන්නේ. ගහ තියෙන්නෙ මෙතන. 
Q නමුත් එජාපයේ නායකයන් පවසනවා, 2020 න් පසුවත් මෙම යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා කියල?

එහෙම වෙන්න විදියක් නැහැ. ජනවාරි 08 වෙනිදා වුණ වරද නිවැරදි කරගන්න බලාගෙන ඉන්න ජනතාවක් අද ඉන්නෙ. ඒ නිසා 2020 දි ඡන්දයකට යා යුතුයි. එදා මහින්ද මහත්තයට රිද්දන්න ඕන, බලය දුන්නම නටන හැටි පේනවනේ කියලා ඡන්දය නොදී හිටිය පිරිසක් හිටියා. ඒ අයගේ ඡන්දත් අපට ලැබෙනවා. එජාපයේ කළකිරුණු අයගේ ඡන්ද ටිකත් අපට ලැබෙනවා. අලුත්ම ඡන්ද අපට ලැබෙනවා. මේ සියල්ල එක්ක 2020 දි මේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ ඒකාබද්ධ විපක්ෂය හදන නව සන්ධානයෙ කෙනෙක්.
Q අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සංවිධායකවරු ඉවත්කර නව සංවිධායකවරු පත්කර තිබෙනවා නේද?

පක්ෂයට ඔච්චර ආදරේ නම් අපේ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨයන්, වැඩිම මනාප ගත්ත පිරිස මේ ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් හදාගෙන, මේ මිනිස්සු කියන්නෙ මොකක්ද කියලා හිතුවද? නැහැ. එහෙම ඇහුම්කන්දීමක් සිරිසේන මහත්තයට නැහැ. ඉතින් ඒකාබද්ධ විපක්ෂයේ හිටියා කියලා සංවිධායක ධුරයෙන් ඉවත් කරලා කොහේ හරි ඉන්න කෙනෙක් දාගන්න එක නෙමෙයි පක්ෂයට ආදරේනම් කරන්න ඕන. මං ඒකනෙ කිවුවෙ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නෙ රනිල් මහත්තයගේ කුස්සියේ කුණු මුල්ලේ කියල.
Q මැලේසියාවේ තානාපතිවරයට එල්ල වූ ප්‍රහාරය හා සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය මෙරට රජය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කළා නේද?

ඔව්. ලෝකෙ කොහේහරි රටක තානාපතිවරයෙක් ඉන්නවානම්, ඒ රටින් එම තානාපතිවරයාට සැළකීම් කරන්නෙ ඒ රටේ නායකයට තියෙන ගරුත්වයම තමයි. ඒක තමයි සාමාන්‍ය විදිය. ලෝකෙ වෙනත් රටක තානාපතිවරයෙක්ට මෙවැනි ප්‍රහාරයක් එල්ල වුණානම් සම්පූර්ණයෙන්ම ඒ රටේ තානාපති කාර්යාලය කොන්දේසි විරහිතව ඉවත් කරගෙන යනවා. හැබැයි මේ ගැහුවෙ තානාපතිවරයාට නෙමෙයි. ශ්‍රී ලංකා කියන රටටයි ගැහුවෙ. මට හිතාගන්න බෑ ලෝකෙ දිනුව කියන ජනාධිපතිවරයා, අපි ඔක්කොම මිතුරෝ කියන අගමැතිවරයා, සාමාන්‍ය විදියට ලෝකයට ගරු කරන විදියයි ඒ පෙන්නුවේ. අපි බලන් ඉන්නවා මැලේසියාව මේකට දක්වන ප්‍රතිචාරය පිළිබඳව. අපි කිසිවක් නොවුණ විදියට ඉන්න එක ගැන ඔවුන් අපිට සිනාහ වෙනවා ඇති.
Q අතුරුදන් වූවන් සෙවීම සඳහා ස්ථාපිත කාර්යාලයට ඒකාබද්ධ විපක්ෂය දැඩි විරෝධයක් පළ කළේ ඇයි?

අපි විරුද්ධත්වය පලකළේ අතුරුදන් වූවන් සොයන එකට නෙමෙයි. අතුරුදන් වූවන් සොයන එක ඇරඹුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ. එතුමා තමයි කොමිසමක් පවා පත් කළේ. අපි විරුද්ධ ඒකට නෙමෙයි. අපි විරුද්ධ මරණවලට පණ දෙන්න යනවට. මේ අතුරුදන් වූවන් පිළිබඳව පරණගම වාර්තාවේ යම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒ කොමිසම අයින් කරලා මේ අය පත්කර ගත්ත කොමිසම කියනවා අතුරුදන් වූවන් අසූදාහක් පමණ ඉන්නවා කියලා. එතකොට මේ කරන්න යන්නේ කොටියා පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් ඇතිකරලීමයි. අනිත් පැත්තෙන් උතුරු පළාත් සභාව රටට අහිතකර යෝජනා සම්මත කරගන්නවා. එහෙනම් වෙනම රටක් හදන ගමනට තමයි මේ රජය සහයෝගය දෙන්නේ. එයට අපි විරුද්ධයි.
Q නමුත් රජය පවසන්නෙ මෙය අතුරුදන් වූවන් පිළිබඳව නිශ්චිත ගණනයක් කිරීම සඳහා පමණක් ස්ථාපිත කරන බවයි?

අපි කොහොමද මෙය නිවැරදි තොරතුරුද කියල තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් අවසන් සටනේදීනම් මේ අතුරුදන් වීමක් වුණේ අසූදාහක් විතර අතුරුදන් වෙන්න බැහැ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහෙනම් තුවාල ලබන්න ඕන. එහෙම එකක් වෙලා නැහැ. අපිට තේරෙන විදියට මේ අය මේ කරගෙන යන්නෙ ඇත්ත හොයන එක නෙමෙයි. අලුත් රටකට පණ පොවන්න යන ගමනට රජයේ දායකත්වය තමයි මේ ලබාදෙන්නේ.

Q අද පවතින මාධ්‍ය නිදහස පිළිබඳව පෙර සිටි මාධ්‍යවේදියෙකු ලෙස ඔබගේ අදහස කෙබඳුද?

මම මාධ්‍යවේදියෙක් විදියට කටයුතු කළේ ස්වාධීන රූපවාහිනියේ. එම ආයතනයේ දේශපාලන සාකච්ඡාවලට එක පැත්තක අය විතරක් ගේන්න ගත්තෙ මහින්ද මහත්තයා ජනාධිපතිවරයා විදියට පත්වෙලා අවුරුදු 06කට පස්සෙ. හැබැයි මේ රජය බලයට පත්වෙලා අවුරුද්දක් යන්න කලින් ඒකපාර්ශ්වික විදියට දේශපාලන සංවාද පවත්වනවා. පුවත් ප්‍රචාරය කරනවා. අද සමස්තයක් විදියට ගත්තම රටේ මාධ්‍ය නිදහසක් නැහැ. දැන් බලන්න ඔස්‘ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහවැලි අමාත්‍යවරයාව හිටිය කාලයේ වංචා දූෂණ වුණා කියලා.

එතකොට ඒක මේ රටේ මාධ්‍ය වාර්තා කරන්නෙ නැහැ. රනිල් මහත්තයා කෝටුවක් තියාගෙන තමයි අද මාධ්‍ය පාලනය කරන්නෙ. එතකොට විවිධ බලපෑම් කරලා මාධ්‍ය නිහඬ කරල තියෙනවා. දැන් බලන්න අර කඳවුරෙන් පලා යන එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියෙකුට වෙඩි තිවුවා කියල රණවිරුවෙක්ට ලක්ෂ 20ක දඩයක් නියම කළා. මේක ප්‍රවෘත්තියක් විදියට දන්නෙ කීයෙන් කීදෙනාද? දැන් අපිට පේනවා මාධ්‍ය දඬුකඳේ ගහල තියෙන්නෙ. අනිත් පැත්තෙන් කටට තුවක්කුව තියල,‍ පෑන කණේ ගස්සලා තමයි දැන් මාධ්‍ය වැඩ කරන්නෙ.
Q ඔබ මාධ්‍යවේදියෙක් විදියට යම් දේශපාලන අඩත්තේට්ටම්වලට කිහිප අවස්ථාවකදීම මුහුණදී තිබෙනවා නේද?

ඇත්තටම ඔව්. ජනවාරි 08 වෙනිදා මේ රජය බලයට ආවට පස්සේ මට ගෙදර යන්න වුණා. ඒ වගේම 2001 එජාප රජය බලයට පත්වෙලා පසුදිනම ස්වාධීන රූපවාහිනියේ මහත්තයෙක් මට කිවුවා ගෙදර යන්න කියලා. ඒ මහත්තයා තාමත් ඒ ආයතනයේ ඉන්නවා. මම බය නැතුව කියනවා ස්වාධීන රූපවාහිනිය කියන්නෙ ආණ්ඩු මාරුවෙනකොට චණ්ඩි බිහිවෙන තැනක්. සහෝදර සේවකයන්ටම චණ්ඩිකම් පෙන්වන තැනක්. 
Q ජනමාධ්‍ය නියාමන පනතක් රජය ගෙන ඒමට අදහස් කර තියෙනවා. මේ තුළින් මාධ්‍යවේදීන්ට සහ ආයතනවලට කුමක් වෙයිද?

මාධ්‍යවේදීන්ට සහ ආයතනවලට මේ ආණ්ඩුව තරවටු කරලා යම් ප්‍රමාණයක් නවත්වලා තියෙනවානම් ඒක නීත්‍යානුකූලව කරගන්න තමයි මේ කරන්න යන්නේ. මම මාධ්‍යවලට කියනවා ප්‍රශ්න තිබුණෙ ලසන්තලා, එක්නැළිගොඩලා ගැනනම්, ඉස්සරහට බලාගෙන ඉන්න, මේ ආණ්ඩුව මාධ්‍යවේදීන් නොමරා මරණ හැටි බලාගන්න පුළුවන් වෙයි. 
Q වත්මන් රටේ සංවර්ධනය පිළිබඳව ඔබේ අදහස?

අද රටේ සංවර්ධනය කියලා දෙයක් නැහැ. මේ අය බලයට එද්දි කිවුවා මහින්ද මහත්තයට වඩා විසි ගුණයකින් සංවර්ධනය කරනවා කියලා. නමුත් එය අද බොරුවක් බවට පත්වෙලා තියනවා. මහින්ද මහත්තයා හදපුවාම මේ අය විවෘත කරනවා. එච්චරයි වෙන්නේ. මේක තමයි ජනතාව හදපු ආණ්ඩුවේ අලුත්ම වෙනස. අපිට තියෙන්නෙ වේදනාවකට වඩා ලොකු පසුතැවීමක්, මේ රටේ මිනිස්සු ගැන. මොකද ජනතාව තමයි ආණ්ඩු හදන්නෙ. ජනතාවගේ බුද්ධි මට්ටම තමයි ඡන්දයකින් පෙන්නුම් කරන්නේ. එය තේරුම් ගත්ත විදිය ගැන කලකිරීමක් තියෙනවා. 
Q ඒකාබද්ධ විපක්ෂයේ ඔබේ භූමිකාව කුමක්ද?

මම ඒකාබද්ධ විපක්ෂ ඇතුළේ මට කරන්න පුළුවන් දේ මොකක්ද, මම ඉන්න තැන ගැන, තනතුර ගැන අදාළ වෙන්නෙ නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවන්න මට කරන්න පුළුවන් උපරිම මෙහෙවර කරනවා. ඒ වගේම මට ඡන්දය දීපු මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මට කරන්න පුළුවන් කටයුතු මොනවද ඒවා කරන්න බලාගෙන ඉන්නවා.

සටහන - මහේෂ් මලවර ආරච්චි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7291221473688516258

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item