අර්ජුන මහේන්ද්‍රන්ට බැට දෙන්නේ අගමැති බේරා ගන්නයි

රාජිත, පාඨලී සහ දයාසිරි ජයසේකර වැනි ආණ්ඩුවේ ඇමතිවරු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් උඩ පැන පැන අර්ජුන මහේන්ද්‍රන් මහතාට බැට දෙන්නේ ඔහු බිල්ල...

රාජිත, පාඨලී සහ දයාසිරි ජයසේකර වැනි ආණ්ඩුවේ ඇමතිවරු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් උඩ පැන පැන අර්ජුන මහේන්ද්‍රන් මහතාට බැට දෙන්නේ ඔහු බිල්ලට දී අගමැති බේරා ගැනීමට බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. 

ඒ මහතා මේ බව කියා සිටියේ අද(07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය,

චීනයට සතුරු මුදල් ඇමති ඉවත් කරමු

චීනය කියන්නේ වසර 1,500කට වැඩි කාලයක් සමීපව ඇසුරු කරන අපේ ඓතිහාසික මිතුරෙක්. බුදු දහම තමයි චීන - ලංකා මිත්‍රත්වයේ පාලම වුණේ. අපි ආහාර අර්බූදයකට මුහුණ දෙන විට රබර් - සහල් ගිවිසුම අත්සන් කරලා ලංකාව බේරා ගත්තේ චීනය. බටහිර රටවල් කොටින්ට සහය දක්වමින් ලංකාවට ආයුද විකිණීම ප්‍රතික්ෂේප කරන විට අපට කොන්දේසි විරහිතව ආයුද දුන්නේ චීනය. බටහිර රටවල් කොටින් වෙනුවෙන් යුද අපරාධ චෝදනා නගමින් ලංකාවේ යුද ජයග්‍රහණය හෑල්ලු කරන විට ලංකාව ආරක්ෂා කළේ චීනය. නිදහසින් පසු වැඩිම ආධාර සපයා තිබෙන්නේ චීනය. ජාතියේ සංකේත බවට පත් වී තිබෙන නෙළුම් පොකුණ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අපට චීනයෙන් ලැබුණු තිලිණ. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, නොරොච්චලේ විදුලි බලාගාරය සහ අධිවේගි මාර්ග යනාදි අපේ රටේ ඇසට පෙනෙන යටිතල පහසුකම් සියල්ලටම මූල්‍ය ආධාර ලැබුණේ චීනයෙන්. නමුත් අත්දැකීම් නැති බොලඳ ඇමතිවරු කරන ප්‍රකාශ නිසා අපට කවදත් උදව් කරන මේ ඓතිහාසික මිතුරා අහිමි වීමේ අවදානමක් මතු වෙලා තිබෙනවා.

ඉන්දියාව, ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීම විලාසිතාවක් බවට පත් කරගෙන තිබෙනවා. අපි මැතිවරණ තියන විදිහ, බලය බෙදන විදිහ, ආණ්ඩුවයි විපක්ෂයයයි අතර සහ සම්බන්ධය ඒ අයයි තීරණය කරන්නේ. ඒ විතරක් නොවෙයි මොන මාධ්‍ය ආයතනයටද මාධ්‍ය නිදහස ලැබිය යුත්තේ කියල තීරණය කරන්නෙත් දැන් බටහිර තානාපතිවරු. නමුත් කිසිම දිනක චීනය ලංකාවේ කිසිම අභ්‍යන්තර ප්‍රශ්නයකට ඇඟිලි ගහලා නෑ. මේ ආන්ඩුව බලයට එන්න කිව්ව ප්‍රධාන බොරුවක් තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගිණි පොළියට චීනයෙන් ණය අරන් තියෙනවා. චීන සමාගම් වලින් ලොකු කොමිස් කුට්ටි ගහල තියෙනවා. 

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියනවා ව්‍යපෘතිවල කොමිස් ප්‍රතිශතය 90% කියල. චීන තානාපතිතුමා ප්‍රතිචාර දැක්වූයේ චීනය පිලිබඳ මේ ආණ්ඩුවේ ඇමතිවරු කියන බොරු වලට. චීනය මෙහිදී පැහිදිලිව ප්‍රකාශ කලා ඔවුන් සංවර්ධන කටයුතු සදහා ණය දුන්නේ 2% සහන පොළියට. ශ්‍රී ලංකාව සංවර්ධිත මට්ටමෙන් ඉදිරියට ආවට පස්සේ අනිකුත් වානිජමය ණය ලබාදුන්නේ 5% පොළියට. නම්තු වත්මන් ආණ්ඩුව තමුන්ගේ යාළුවෝ කියන යුරෝපීය සංගමයෙන් ණය ගන්නේ 5.8% පොළියට. මේ තිත්ත ඇත්ත තමයි චීන තානාපතිතුමන් කිව්වේ. චීනයට ලංකාවෙන් අපවාද එල්ලවන විට ලංකාවේ චීන තානාපතිවරයා චීනය වෙනුවෙන් අදහස් දක්වන්නේ නැතිනම් චීන තානාපති කුමකටද? ඒකෙන් උරණ වෙලා මුදල් ඇමතිතුමා චීන තානාපතිතුමා සමච්චලයට ලක් කලා. විදේශ ඇමති චීන තානාපති කැඳවා ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවාලු. චීන තානාපති කියන්නේ අපේ ඓතිහාසික මිතුරාගේ දේශීය සංකේතයයි කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරනවා. ගින්දර සමග සෙල්ලම් කරලා පස්සේ පිච්චුනෝ කියලා බෙරිහන් දෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.

චීන තානාපති අහන ප්‍රශ්නයම තමයි අපිත් අහන්නේ. චීන ණය දෙන්නේ ගිනි පොලියට නම් ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන් නම් ඇයි චීනය පස්සෙන් යන්නේ? වෙන තැනකින් ගන්න එකනෙ ඇත්තේ.සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මම චීනයට කණගාටුව ප්‍රකාශ කරන අතරේ අත්දැකීම් නැති බොලඳ ඇමතිවරුන්ගේ ප්‍රකාශ මත අපේ මිත්‍රත්වය තීරණය කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.

චුදිත අර්ජුන් තවමත් ආණ්ඩුවේ තනතුරක

කෝප් කමිටුව මගින් වරදකරු කළ අර්ජුන් මහේන්ද්‍රන් තවමත් රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය භාර අගමැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ක්‍රියා කරනවා. අගමැතිතුමන්ගේම ඇමතිවරු වරු අත්සන් කරපු කෝප් කමිටු වාර්ථාව මගින් වරද කරු කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් කොහොමද රටේ ඉහලම වගකිව යුතු තනතුරක් තවමත් දරන්නේ. එක්කෝ අර්ජුන් සිය තනතුරෙන් ඉවත් වෙන්න ඕනෑ. නැතිනම් අගමැතිතුමා අර්ජුන්ව තනතුරෙන් ඉවත් කරන්න ඕනෑ. දෙකම වෙන්නේ නෑ කියන්නේ ආණ්ඩුවේ ඇමතිවරු අත්සන් කළ කෝප් වාර්තාව අගමැතිතුමා නොසලකා හරිනවා කියන එකයි. බැඳුම්කර මගඩිය පිලිබඳ මෙතරම් දැවැන්ත ඝෝෂාවක් කරලාත් අගමැතිතුමාට ඇසුනේ නැත්තේ ඇයි කියලා ජනතාව කල්පනා කරන්න පුළුවන්. බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ කියන පරණ උපමාව කොල අලින්ට බැඳුම්කර මගඩිය කියලා දෙනවා වගේ කියලා දැන් වෙනස් කරන්න වෙනවා.

අර්ජුන්ට නඩු පැවරීම අගමැති බේරීමේ උපායක්

රාජිත සේනාරත්න, පා ච රණවක සහ දයාසිරි ජයසේකර වැනි ආණ්ඩුවේ ඇමතිවරු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් උඩ පැනලා අර්ජුන්ට බැට දෙනවා. එතකොට කාට හරි හිතෙන්න පුළුවන්, යහපාලනය අංශු මාත්‍රයක් හරි ආණ්ඩුව තුළ තවමත් ඉතිරි වෙලා තිබෙනවා කියලා. නෑ. මේ අයගේ අරමුණ අර්ජුන් මහේන්ද්‍රන් බිල්ලට දීලා අගමැති බේරා ගැනීමයි. ඒ නිසා තමයි අර්ජුන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න, වෙනම උසාවි පිහිටු වන්න කියලා බෙරිහන් දෙන්නේ. නීතිපති අර්ජුන්ට නඩු පැවරූ විගස මෙය සබ්ජුඩිකේ හෙවත් අධිකරණය ඉදිරියේ විනිශ්චයට බඳුන් වූ කාරණයක් වෙනවා.එවිට අපට ජනමාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ මේ පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න බෑ. ඒ වගේම පාර්ලිමේන්තුවේ විවාද කරන්න බෑ. එතකොට අගමැතිතුමා, ලංකා බැංකුව වගේම අර්ථ සාධක අරමුදල මේ මගඩියට දැක්වූ දායකත්වය රටට කියන්න අපට බැරි වෙනවා.

අගමැතිතුමා වරද පිළිගන්නේ නැති නම් අගමැතිතුමා වැරදි ඇයි කියලා ඔප්පු කරන්න අපට බැඳුම්කර විවාදය පාර්ලිමේන්තුවේ කරන්න ඕනෑ. ඒ ගැන සම්මන්ත්‍රණ හරහා රටට කියන්න අවස්ථාව ඕනෑ. අගමැතිතුමා වගකීම භාර ගන්නවා නම් කිසිම ගැටළුවක් නෑ. වහාම නඩු පවරන්න. නැතිනම් නඩු පැවරීම බැඳුම්කර පිලිබඳ පාර්ලිමේන්තු විවාදය පවත්වන තුරු කල් දමන්න.

අගමැතිතුමා සුද්ද කරන්න කොසු ඉදල් ඔසවා ගෙන මුලින්ම ඉදිරිපත් වුණේ පා ච රණවක ඇමතිතුමා. අගමැතිතුමා මේ බැඳුම්කර සිද්ධියට වගකිව යුතු ද කියා තීරණය කිරීමට මා සමග විවාදයට එන්න කියලා මම ඇමතිතුමාට අභියෝග කලා. මට පුළුවන් පා ච ගේ ප්‍රකාශ හරහාම අගමැති වරදකරු බව ඔප්පු කරන්න. මම අභියෝග කලා විතරයි සිංහ නාද හකුලා ගෙන නිහඬ වුණා. පා ච රණවක ඇමතිතුමනි, ඔබතුමා තවම ප්‍රමාද නෑ. අගමැතිතුමා වරදකරුවෙකු නොවේ කියා අවංකවම විශ්වාස කරනවා නම් එන්න මා සමග විවාදයට.

බුද්ධි අංශ විනාශයෙන් යුද හමුදාව ආබාධිත වෙලා

බුද්ධි අංශ කියන්නේ හමුදාවක ඇස් සහ කන්. බුද්ධි අංශ ලබා දෙන තොරතුරු මත තමයි හමුදාවක මෙහෙයුම් ඉදිරියට යන්නේ. හමුදාවක් මෙහෙයුම් කරන්නේ යුද සමයේ විතරයි. බුද්ධි අංශ යුද සමයේ දී වගේම පශ්චාත් යුද සමයේත් අඛණ්ඩව සක්‍රිය සේවයේ යෙදෙනවා. බුද්ධි අංශ වලට පින් සිදු වෙන්න තමයි 2009 මැයි මාසයෙන් පස්සේ කොටි සංවිධානයේ කෙඳිරිල්ලක් වත් උතුරෙන් ඇහුනේ නැත්තේ.ඒ වගේම ලෝකයේ තිබෙන විශිෂ්ටතම බුද්ධි අංශයක් විධියට අපි ලෝකයේ නමක් දිනා ගත්තා. වේළුපිල්ලේ පිරබාහරන් මිය ගියාම කොටි සංවිධානය කේපී නව නායකයා ලෙස පත් කර ගත්තා. ඊට මාස කිහිපයකට පස්සේ කේපීව කුදලා ගෙන එන්න තරම් අපේ බුද්ධි අංශ ප්‍රබල වුණා. එවැනි දේවල් මින් පෙර ලෝකයේ සිදුකලේ ඊශ්‍රායලයේ මොසාඩ් වැනි බුද්ධි අංශ විතරයි.නමුත් අද කොටින්ගේ මන දොල සපුරන්නබුද්ධි අංශ අඩපණ කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව යෙදිලා ඉන්නවා.

පදනම් විරහිත චෝදනා නගමින් බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට අර ගෙන වසරකට වැඩි කාලයක් සිර කර ගෙන හිටියා. සමහරු නිදහස් වුණා. තවමත් සමහරු බන්ධනාගාරයේ. දකුණේ දී බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගන්න අතරේ උතුරේ දී මැර කල්ලි වල ප්‍රහාරයන්ට ගොදුරු වෙනවා. බුද්ධි අංශ වලට වැදුනු ලොකුම හෙණය තමයි වසර 29ක් බුද්ධි අංශ වල කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ බුද්ධි අංශ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කරලා මේ ක්ෂේත්‍රය පිලිබඳ කිසිම අත්දැකීමක් නැති අයෙකු ඒ තනතුරට පත් කරලා.

බුද්ධි අංශ වැඩ කරන්නේ අනෙකුත් බලකායන්ට වඩා වෙනස් ආකාරයකට. නිල ඇඳුම් අඳින්නේ නෑ. කොණ්ඩය රැවුල් කපන්නේ නෑ. වෙලාවක් කලාවක් නෑ. අනෙකුත් බලකායන් සතුරා සමග සටන් කරන විට බුද්ධි බලකායට සතුරා සමග මිතුරුව වැඩ කරන්න වෙනවා. මේ වෙනස නොදන්නා අයෙකුට බුද්ධි අංශ වලට නායකත්වය දෙන්න බෑ.

මේ ආකාරයට බුද්ධි අංශ අඩපණ කරනවා කියන්නේහමුදාවේ ඇස් කන් විනාශ කරනවා කියන එකයි. ඒ නිසා අනාගත යුද්ධයක දී හමුදාවට යුද වදින්න වෙන්නේ ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති අඳ බිහිරි ආබාධිතයෙකු විධියටයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 914906952826581031

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item