ඡන්දෙට පෙර මුදල් නෝට්‌ටු හොරෙන් පිටකිරීම ඇත්ත කතාව මොකක්‌ද?

සෑම ආණ්‌ඩුවක්‌ යටතේම වංචා හා දූෂණ අඩු වැඩි වශයෙන් සිදුව තිබේ. එය පුදුමයට කරුණක්‌ නොවේ. එසේම නොයෙක්‌ ආකාරයේ වංචා හා දූෂණ චෝදනා ද ආණ්‌ඩු පක...

සෑම ආණ්‌ඩුවක්‌ යටතේම වංචා හා දූෂණ අඩු වැඩි වශයෙන් සිදුව තිබේ. එය පුදුමයට කරුණක්‌ නොවේ. එසේම නොයෙක්‌ ආකාරයේ වංචා හා දූෂණ චෝදනා ද ආණ්‌ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයටත් විපක්‍ෂයෙන් ආණ්‌ඩු පක්‍ෂයටත් එල්ල වනු දැකගත හැකිය. ඒ අනුව දැනටත් ශ්‍රී ලනිප යේ ආණ්‌ඩුව නියෝජනය කරන ඇමැතිවරුන්ට හැර, ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනෙක්‌ට නොයෙකුත් වංචා හා දූෂණ චෝදනා ඉදිරිපත් කර තිබේ. ඇතැම් අයට නඩු පවරා ද තිබේ. මෙසේ ආණ්‌ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයට පමණක්‌ නොව විපක්‍ෂයෙන් ආණ්‌ඩු පක්‍ෂයට ද නොයෙකුත් වංචා හා දූෂණ චෝදනා ඉදිරිපත් වෙමින් තිබේ. ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂය විසින් "ටොප් ටෙන්" නමින් මේ වංචා හා දූෂණ චෝදනා ඉදිරිපත් කරමින් තිබෙන අතරම චෝදනා ඉදිරිපත් කිරීමෙන් නොනැවතී ඔවුන් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඒ පිළිබඳව පැමිණිලි කරන අයුරුද දැකගත හැකිය. දැන් ආණ්‌ඩුව පැත්තෙන් විපක්‍ෂයට ඉදිරිපත්ව ඇති අලුත්ම චෝදනාව ඉතාමත් බරපතළ මෙන්ම පෙර නොවූවිරූ ආකාරයේ එකකි. එනම් ජනාධිපතිවරණ දින දෙකකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රු. කෝටි 1300 ක්‌ හොරෙන් පිටකළ බවට මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඉදිරිපත් කරන චෝදනාවයි. සල්ලි කොලේට අත්සන් තබන මුදල් විෂයභාර ඇමැතිවරයා විසින්ම මේ චෝදනාව ඉදිරිපත් කර ඇති නිසා මෙය සුළුවෙන් තකන්නට ද පුළුවන්කමක්‌ නැත. ඒ නිසා මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ මහ බැංකුවෙන් මුදල් හොරෙන් පිට කළ බවට ආණ්‌ඩුවෙන් විපක්‍ෂයට ඉදිරිපත්ව ඇති අලුත්ම චෝදනාව ගැනය.

දේශපාලන කරලිය තුළ අප නොයෙක්‌ ආකාරයේ චෝදනා කොතෙකුත් අසා තිබුණත්, මහ බැංකුවෙන් හොරෙන් මුදල් පිටකළ බවට වන චෝදනාවක්‌ අප ඇසුවේ ප්‍රථම වරටය. මෙවැනි චෝදනාවක්‌ රටක මුදල් විෂයභාර ඇමැතිවරයකු විසින් ඉදිරිපත් කළේ ලංකා ඉතිහාසයේ පළමු වරට විය යුතුය. ලංකා ඉතිහාසයේ පමණක්‌ නොව ලෝක ඉතිහාසයේද මෙවැනි චෝදනාවක්‌ ඉදිරිපත්ව ඇත්තේ ප්‍රථම වතාවට විය හැකිය. අප වැරදි නම් නිවැරැදි කළ මැනවි. මුදල් ඇමැති රවි කරුණානායක මහතා මේ චෝදනාව ඉදිරිපත් කළේ මැතිවරණ සමයක දේශපාලන වේදිකාවක නොවේ. මුදල් අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක සියලු ජනමාධ්‍ය ඉදිරියේදීය. ඔහු තවදුරටත් කීවේ විපක්‍ෂයේ දේශපාලන රැලි ගාව රු. 5000 නෝට්‌ටු සංසරණය වන බවයි. එම නෝට්‌ටුවල අංකවල කිසියම් නොගැළපීමක්‌ ගැන ද ඔහු කීවේය. මුදල් ඇමැතිවරයා සිංහලෙන් කතා කරන දේවල් ඇතැම්විට අපට තේරෙන්නේම නැත. එහෙත් ඔහු ප්‍රකාශ කළ අදහස්‌ අනුව අපට තේරුණු ආකාරයට මුදල් ඇමැතිවරයා කියා සිටියේ මහ බැංකුවෙන් හොරෙන් පිට කළ මුදල් දැන් විපක්‍ෂයේ විරෝධතා රැලිsවලට එන අයට බෙදා දෙන බව විය යුතුය. අප මෙතෙක්‌ අසා තිබුණේ මැයි රැලිවලට එන අයට සහ වෙනත් දේශපාලන රැලිsවලට එන අයට බත් පැකට්‌ මත්පැන් සහ බස්‌ රථවලින් ප්‍රවාහන පහසුකම් ලබාදෙන බවකි. එහෙත් මහ බැංකුවෙන් හොරෙන් පිට කළා යෑයි මුදල් ඇමැති කියන මුදල්වලින් අලුත්ම රු. 5000 නෝට්‌ටු බෙදා දෙන බව නම් අප ඇසුවේ පළමු වරටය. මේ කියන දෙය සත්‍ය නම් මේ වන විට විපක්‍ෂයේ විරෝධතා රැලිවලට ගිය කී දෙනකුට මේ රු. 5000 නෝට්‌ටු මේ වන විට ලැබී තිබිය යුතුද යන්න නම් අපට සිතා ගැනීමටත් අපහසුය. ඒකාබද්ධ විපක්‍ෂය මේ වන විට වත්මන් රජයට එරෙහිව විවිධ අවස්‌ථාවලදී විරෝධතා ව්‍යාපාර රැසක්‌ සංවිධානය කර ඇත. ඒ සෑම එකකටම අති විශාල ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ සහභාගි වූ බවද රහසක්‌ නොවේ. එසේ නම් විරෝධතා රැලිවලට එන අයට රු. 5000 නෝට්‌ටුව බැගින් ලබාදීමට කොතරම් මුදලක්‌ අවශ්‍ය වනු ඇතිද? ඒකාබද්ධ විපක්‍ෂය විසින් විටින් විට විරෝධතා රැලි රැසක්‌ පවත්වා ඇති නිසා ඇතැම් අයට මේ කියන අලුත්ම රු. 5000 නෝට්‌ටු කිහිප වරක්‌ම ලැබී තිබෙනවා විය යුතුය. අවාසනාවට තවමත් එවැන්නක්‌ අපට නම් හමුවී නැත.

රු. කෝටි 1300 ක්‌ මහ බැංකුවෙන් හොරෙන් පිට කළ බව කියන්නේ රටේ මුදල් විෂය භාර ඇමැතිවරයා නිසා මෙය ඔහු නිකම්ම කළ ප්‍රකාශයක්‌ විය නොහැකිය. මේ සඳහා ඔහු සතුව නොයෙකුත් සාක්‍ෂි තිබෙනවාද විය හැකිය. ඒ නිසා මුදල් ඇමැති මේ මහා මූල්‍ය මගඩියට අදාළ තොරතුරු තවදුරටත් ඉදිරියේදී හෙළි කරනු ඇතැයි ද අපි සිතමු. මූලික වශයෙන්ම මහ බැංකුවේ මුදල් සුරක්‍ෂිතාගාරවල තිබූ මුදල් පිටකළා නම් මහ බැංකුවේ අදාළ මුදල් නෝට්‌ටුවල හිඟයක්‌ (අඩුවීමක්‌) සිදුවිය යුතුමය. එය සොයා ගැනීම මහ බැංකුවට පහසුවෙන්ම කළ හැකි දෙයක්‌ බව අපේ හැඟීමය. හේතුව නම් මහ බැංකුවේ බිම් මහලේ මුදල් සුරක්‍ෂිතාගාරවල ඇති මුදල් නිකුත් කරන හැම විටම එය කරන්නේ මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ ඇති මුදල් නිකුත් කිරීමේ අංශය හදන ලේඛනයක්‌ අනුවය. එවැනි ලේඛනයක්‌ නැතුව මුදල් පිටවී ඇත්නම් අදාළ සුරක්‍ෂිතාගාරවල ඇති මුදල් නෝට්‌ටුවල අඩුවීමක්‌ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු වේ. මේ අනුව කෙතරම් වටිනාකමක මුදල් නෝට්‌ටු ප්‍රමාණයක්‌ අඩුදැයි සොයා ගැනීම මහ ලොකු දෙයක්‌ නොවේ. ඒ නිසා මහ බැංකුවෙන් විමසා ඒ තොරතුරු මෙන්ම එසේ පිටවී ඇති නෝට්‌ටුවල අංකද සොයාගත හැකිය. ඒ නිසා දැන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමිට ද වැදගත් රාජකාරියක්‌ තිබේ. එය නම් මේ මුදල් හොරෙන් පිටවීම ගැන වහාම සොයා බලා ඒ ගැන වහාම පරීක්‍ෂණයක්‌ සිදු කිරීමයි. මාධ්‍යයට නොකීවාට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මුදල් ඇමැතිවරයාගේ චෝදනාවට අදාළ පරීක්‍ෂණය දැනටමත් ආරම්භ කර බොහෝ තොරතුරු සොයාගෙන තිබෙනවා වන්නටද පුළුවන. විපක්‍ෂයේ විරෝධතා රැලි අසල බෙදන රු. 5000 නෝට්‌ටුවල සීරියල් අංකවල යම් නොගැළපීමක්‌ ගැන ද මුදල් ඇමැතිවරයා කීවේය. ඇත්ත වශයෙන්ම එවැන්නක්‌ සොයාගත හැක්‌කේ මහ බැංකුවටය. එසේ නම් අපට සිතිය හැක්‌කේ මහ බැංකුව විසින්ද මේ මුදල් නෝට්‌ටුවල අංකවල නොගැළපීම ගැන යම් පරීක්‍ෂණයක්‌ දැනටම සිදුකර ඇති බවයි. කවරක්‌ නමුත් මේ බරපතළ සිද්ධිය ගැන මහ බැංකුව විසින් ද වහාම මහජනතාව දැනුවත් කළ යුතුව ඇති බව අපේ හැඟීමයි. ඒ මහ බැංකුව විසින් නිකුත් කළ රු. 5000 නෝට්‌ටු පිළිබඳ මහජන විශ්වාසය ආරක්‍ෂා කර ගැනීමටය.

මහ බැංකුවේ මුදල් සුරක්‍ෂිතාගාරවල යතුරු භාරව නිලධාරීන් තිදෙනකු සිටින බව මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබිණි. ඒ අනුව අදාළ නිලධාරීන්ගේ අනුදැනුමින් තොරව කිසිසේත්ම මහ බැංකුවේ ඇති මුදල් නෝට්‌ටු පිටවීමට ඉඩක්‌ නැත. මුදල් නිකුත් කිරීමේ ලේඛනය අනුව වරින්වර මෙම සුqරක්‍ෂිතාගාරවලින් මුදල් නිල වශයෙන් මහ බැංකුව විසින් නිකුත් කරන අතර එසේ නිල වශයෙන් නිකුත් කළා නම් ඒ සඳහා අදාළ යතුරු භාර නිලධාරීන් අනිවාර්යයෙන්ම සම්බන්ධව විය යුතුවේ. එසේම අදාළ පිට වූ මුදල් ප්‍රමාණය අඩුවන නිසා අදාළ ලෙජර් පොත් පරීක්‍ෂා කිරීමෙන් ද මේ අඩුව සොයා ගත හැකි වනු ඇත. ඒ නිසා මුදල් ඇමැති කියන නෝට්‌ටු පිටකිරීමට මහ බැංකුවේ ඇතුලේම විශාල පිරිසකගේ සම්බන්ධයක්‌ තිබිය යුතු වේ. ඒ නිසා මේ මූල්‍ය මගඩිය ගැන වහාම පරීක්‍ෂා කර ඊට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගැනීම කළ යුතුව තිබේ. එසේ නොකරන තාක්‌ දැනට භාවිතයේ තිබෙන රු. 5000 නෝට්‌ටුව ගැන තිබෙන මහජන විශ්වාසය යම් තරමකින් හෝ පළුදුවීම වළක්‌වා ගත නොහැකිය. ඒ නිසා මෙතරම් බරපතල චෝදනාවක්‌ කර නිකං නොසිට අදාළ නිසි පියවර ගත යුතුමය.

මුදල් ඇමතිවරයාගේ මේ හෙළිදරව්ව ගැන එතුමාට ස්‌තුතිවන්ත වන අතරම මෙවැන්නක්‌ සත්‍ය වශයෙන්ම සිදුව ඇත්නම් මේ ගැන වහාම පරීක්‌ෂණ කරන එක ද අත්‍යවශ්‍ය කටයුත්තක්‌ බව අපි කියා සිටිමු .මේ ගැන පොලිසියෙන් පරීක්‌ෂණ කිරීමට අමතරව මුදල් ඇමැතිවරයා ගේ මේ හෙළිදරව්ව ගැන වහාම මහ බැංකුවෙන් ද පරීක්‌ෂණයක්‌ කළ යුතුමය. ඒ නිසා මුදල් ඇමැතිවරයා කරන මේ චෝදනාවේ ඇත්ත නැත්ත සොයා ගත හැක්‌කේ මහ බැංකුවටය. මහ බැංකුව රටේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ බලධාරියාය. මහ බැංකුව විටින් විට කාසි හා නෝට්‌ටු මහජන සංසරණයට නිකුත් කරයි. එය රටේ මුදල් සැපයුමට එකතු වෙයි. ඒ අනුව මේ මහ බැංකුවෙන් පිටවූයේ යයි කියන අති විශාල මුදල් ප්‍රමාණය රටේ මුදල් සැපයුමට එකතු වී නැද්ද? මහ බැංකුව මුදල් නෝට්‌ටු නිකුත් කරන විට ඒ ගැන අනිවාර්යයෙන්ම සටහන් තබා ගන්නවා නම් ඊට පිටින් මෙහෙම මහ බැංකුවේ ඇති මුදල් තොග පිට කරන්න පුළුවන්ද? එසේ නම් ඊට වගකිව යුතු නිලධාරින් කවුද? මේ සියල්ල ගැනම සොයා ගත යුතුව තිබේ. ඒ ගැන වත්මන් මහ බැංකු අධිපතිවරයා වහාම ප්‍රකාශයක්‌ කිරීම ද වැදගත්ය. ඔහු එය සිදු වුයේ යෑයි කියන කාලයේ නොසිටියත් දැන් මේ ගැන සොයා බලා පියවර ගත යුත්තේ ඔහුය.මුදල් ඇමැතිවරයා කියන පරිදි රු. 5000 නෝට්‌ටු ලබා ගැනීමට ඉදිරියේදී විපක්‌ෂයේ විරෝධතා රැලිවලට බොහෝ පිරිස්‌ ඇදී යෑමටද ඉඩ ඇත. එහෙත් විපක්‌ෂ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියන්නේ මේ චෝදනාව හැකි නම් සත්‍ය යයි ඔප්පු කර පෙන්වන ලෙස තමා මුදල් ඇමතිවරයාට අභියෝග කරන බවයි. මුදල් ඇමති මේ අභියෝගය භාර ගනියිද ?

විපක්‌ෂයේ විරෝධතා රැලි ගාව රු.5000 නෝට්‌ටු සංසරණය වෙනවා
- මුදල් ඇමැති රවී කරුණානායක 

මෝදි අගමැතිතුමා ඉන්දියාවේ රු. 1000 සහ රු. 500 නෝට්‌ටු අවලංගු කිරීමේ ප්‍රශ්නයට සමාන දේවල් මෙහෙත් සිදුව ඇති බව පේන්න තියෙනවා. විපක්‌ෂයේ විරෝධතා රැලි ගාව මේ රු. 5000 නෝට්‌ටු සංසරණය වෙනවා. ඒ සංසරණය වීම සම්බන්ධයෙන් දැන් තියෙන මුදල් නෝට්‌ටුවල අංක බැඳීමක්‌ නැහැ. මෙන්න මේක තමයි අපි බලන්න කිව්වේ. ඒකෙන් කොහෙද අර්ථකථනය වෙන්නේ මුදල් නෝට්‌ටු අවලංගු කරනවා කිව්වා කියල. අපි එහෙම කිව්වේ නෑ. එහෙම පුවත්පත්වල ගියහම යම් අයට බයක්‌ ඇති වෙනවා.

ප්‍රශ්නය - ඔබතුමා කියන්නෙ එම රු. 5000 නෝට්‌ටු ව්‍යාජ නෝට්‌ටු කියලද?

පිළිතුර - නෑ. එහෙම කියන්න බෑ. එහෙම වගකීමෙන් කියන්න බැහැ. මම අර්ථකථනය කරන්න හදන දේවල් ඔබතුමාලට තේරෙනවා මම හිතන්නෙ. එවැනි සියුම් මට්‌ටමක වෙනින් දේවල් වෙලා තියන එක වෙන්න පුළුවන්.

ප්‍රශ්නය - ඒ කියන්නෙ මහ බැංකුව නිල වශයෙන් නිකුත් කරන්න කලින් නීත්‍යනුකූල නෝට්‌ටු එළියට ආව කියලද ඔබතුමා කියන්නේ?

පිළිතුර - නෑ. ඒකත් නොවෙයි. ඔබතුමාලා දන්නවනෙ ඡන්දෙට දවස්‌ දෙකකට කලින් මහ බැංකුවෙන් රු. කෝටි 1300 ක්‌ එලියට ආව කියලා. එහෙම කොහොමද ගියේ. මෙන්න මේවා තමයි අපිට බලන්න අවශ්‍ය වෙන්නේ.

ප්‍රශ්නය - රජය ඒ සඳහා ගන්න පියවර කුමක්‌ද?

පිළිතුර - අපි බලාගෙන ඉන්නවා. පරීක්‌ෂණ කරගෙන යනවා. ලොරිවල ගිය ඒවයි ඔක්‌කොම බලනවා. පොලිසිය සහ එෆ් .සී.අයි.ඩී එක ඔක්‌කොම කටයුතු කරගෙන යනවා.

ප්‍රශ්නය - මේ සියලු මුදල් පිටවෙලා තියෙන්නේ රු. 5000 නෝට්‌ටුවලින්මද?

පිළිතුර - ඒව ගෙනිච්ච අයගෙන් අහන්න.

ප්‍රශ්නය - ඔබතුමාද මේ ගැන පරීක්‌ෂණයක්‌ කරන්න උපදෙස්‌ දීල තියෙන්නේ.

පිළිතුර - මට වඩා ඉහළින් වන දේවල් . වුණ එක තමයි මම කිව්වෙ.

පසුගිය දෙසැම්බර් 15 වැනිදා මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී.


අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම රටේ ආර්ථිකයට විශාල හානියක්‌
- හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රු. කෝටි 1300 ක්‌ මහ බැංකුවෙන් හොරෙන් පිටවී ඇතැයි මුදල් ඇමැතිවරයා නඟන චෝදනාව අමූලික බොරුවක්‌. මෙවැනි අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම රටේ ආර්ථිකයට විශාල හානියක්‌ බවත් මුදල් නෝට්‌ටුවට අත්සන් තබන මුදල් ඇමැතිවරයා විසින්ම මෙවැනි ප්‍රකාශ කිරීමෙන් රු. 5000 නෝට්‌ටුව භාවිත කිරීම ගැන මහජනතාව තුළ සැකයක්‌ ඇති වෙනවා 

මෙවැනි ප්‍රකාශ කිරීමේ හානිය ගැන මුදල් ඇමැතිවරයාට කිsසිදු අවබෝධයක්‌ ඇති බවක්‌ පෙනෙන්නට නැහැ. මේ චෝදනාව බරපතළ නිසා මේ ගැන වහාම පරීක්‌ෂණයක්‌ පවත්වා ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. රු. 5000 නෝට්‌ටු රු. බිලියන 200 ක්‌ පමණ සංසරණයේ තිබෙනවා. ඉන් බිලියන 13 ක්‌ කියන්නේ මුළු රු. 5000 නෝට්‌ටු සංසරණයෙන් සියයට 6 ක්‌ 7 ක්‌ පමණ ප්‍රමාණයක්‌. ඒ නිසා මුදල් ඇමැතිවරයාගේ චෝදනාව අනුව සෑම රු. 5000 මුදල් නෝට්‌ටු 100 කින්ම 6 ක්‌ 7 ක්‌ පමණ එසේ හොරෙන් පිට කළ ඒවා විය යුතුයි.

-දිවයින



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 3632488747714919362

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item