චෝදනාවලට මූණ දෙනවා ; ඒවට බයේ ආණ්‌ඩුවට යන්නෙ නෑ - ප්‍රසන්න රණතුංග

පසුගිය මැතිවරණයේදී ජනතා තීන්දුවට අනුව විපක්‍ෂයේ සිටිය යුතු අය අද ආණ්‌ඩුවේ ප්‍රබලයන් බවට පත් වී ඇත. ජනතාව ප්‍රතික්‍ෂේප කළ අය ද ආණ්‌ඩුවේ ප්‍රබලයන් බවට පත්ව ඇත. ඇතැම් දේශපාලනඥයන් මැතිවරණයේදී හැසිරුණු ආකාරයත් මැතිවරණයෙන් පසු හැසිරෙන ආකාරයත් ජනතා කලකිරීමට ද හේතුවක්‌ වී ඇත. "හිත හොඳ ගෑනි හැමදාම බඩින්" කියන ජන කතාවට අනුව ප්‍රතිපත්තිගරුක වූවන් සියලු තනතුරු අතහැර අද සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්‌ ලෙස කටයුතු කරන අයුරු ද දැකිය හැකිය. බස්‌නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද ඒ අතර කැපී පෙනෙන අයෙකි.

ප්‍රශ්නය - ඔබතුමාට දැන් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වාගේ දෙයක්‌ නේද වෙලා තියෙන්නේ. ඇත්තටම මොකද වුණේ?

පිළිතුර - මට කිසිම දෙයක්‌ නැතිවෙලා නෑ. මම විසින්ම ප්‍රතික්‍ෂේප කරපු දේ මම නැවත අපේක්‍ෂා කරන්නෙත් නෑ. මම හැමදාම හිටියේ අල්ලා ගත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයයි. ඒ නිසා විශාල ජනතාවක්‌ මම ආදරයෙන් පිළිගෙන තිබෙනවා. මම ඒ ජනතා තීන්දුවට පයින් ගහල කොහේවත් යන්නෙ නෑ.

අනෙක්‌ කාරණය තමයි මම මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ජනාධිපතිවරණයේදීත් කටයුතු කළා. එහිදී අපි පරාජයට පත් වුණා. ඊට මාස 6 කට පස්‌සේ නැවත මම මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පාර්ලිමේන්තුවට තරග කළා. මේ මැතිවරණයේදී අපිට ආසන 95 ක්‌ ජය ගන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්‍ෂ මහතා නිසයි.

නමුත් දැන් ආණ්‌ඩුව පිහිටුවලා. පසුගිය මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාත් මහින්ද රාජපක්‍ෂ මහතාත් දෙන්නම පරාදයි. ජයග්‍රහණය කරලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමායි. අපේ ප්‍රධාන පක්‍ෂ දෙකටම බහුතර ආසන නොතිබූ නිසා මේ දොගොල්ලම එකතු කරලා මෛත්‍රීපාල මහතා ආණ්‌ඩුවක්‌ පිහිටුවාගෙන තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල මහතාට උදව් කළ දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධුරය දීලා. තමන්ට එදා උදව් කළ ජ.වි.පෙ. ට විපක්‍ෂ ප්‍රධාන සංවිධායක තනතුර දීලා. දැන් ඉතින් ඒ අයට ඕනෑ විදියට ආණ්‌ඩුව කරගෙන යනවා. නමුත් මම තනියම හරි ශ්‍රීලනිප සමඟ විපක්‍ෂයේ ඉන්නවා.

ප්‍රශ්නය - ඔබට ජාතික ආණ්‌ඩුවට ආරාධනා ලැබුණේ නැද්ද?

පිළිතුර - මට අවස්‌ථා දෙකකදීම කතා කළා. නමුත් ජනතාව අපේක්‍ෂා කරන්නෙ නෑ අපි එජාප සමඟ ආණ්‌ඩු කරන එක හොඳයි කියලා. මට ඡන්දය දුන් අයගේ අපේක්‍ෂාවන් විනාශ කරන්න බෑ. අනෙක මට මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ පැමිණිල්ලක්‌ තිබෙනවා. දැන් ඒක ගැන අවස්‌ථා කීපයකදී මගෙන් කටඋත්තර ලබාගෙන තිබෙනවා. මම ආණ්‌ඩුවට සම්බන්ධවෙලා ඒ චෝදනාවලින් නිදහස්‌ වුණොත් ජනතාව කියාවි ඕක බේරා ගන්න තමයි ආණ්‌ඩුවට ගියේ කියලා. ඒ කතාව අහන්න මට පුළුවන්කමක්‌ නෑ. මම තනියම ප්‍රශ්නවලට මුහුණ දීලා වෙන්නෙ මොකක්‌ද කියල බලාගෙන ඉන්නවා.

ප්‍රශ්නය - ඔබට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයේ ඉන්න වෙන්නෙ විරුද්ධ විපක්‍ෂ නායක ආර්. සම්බන්දන් මහතා යටතේ නේද? මේකත් ජනතාව අපේක්‍ෂා කළ දෙයක්‌ නොවෙයිනෙ නේද?

පිළිතුර - ඔව්. ජනතාව එජනිස සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ කටයුතු කරනවා දකින්නයි කැමති. ජනතා තීන්දුවත් ඒකයි. නමුත් ජනතාව වෙනුවෙන් ලොකු සේවයක්‌ කරන්න හිතාගෙන අපේ බොහෝ දෙනෙක්‌ ආණ්‌ඩුව හදන්න එකතු වුණානෙ. නමුත් අපි පක්‍ෂය දාල ජනතාව බිල්ලට දීලා සැප සම්පත් හොයාගෙන යන්නෙ නෑ.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ආර්. සම්බන්දන් මහතා උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන විපක්‍ෂ නායකයෙක්‌. නමුත් දැන් ඔහුට එහෙම පළාතක්‌ පක්‍ෂයක්‌ ගැන හිතන්න බෑ. ඔහු දැන් රටේ ජනතාව ගැන හිතලා විපක්‍ෂයේ වැඩ කරනවා නම් මම ඔහු විපක්‍ෂ නායක ලෙස පිළිගන්න කැමතියි.

අනෙක ඔහුට උතුරේ මහ ඇමැතිවරයා සඳහන් කරන ෙµඩරල් ක්‍රමය ස්‌වයං පාලනය හෝ විදේශ Rජු ආධාර ලබාගැනීම ආදී කරුණු වෙනුවෙන් දේශීයව හෝ විදේශීයව පෙනී සිටින්න බෑ. එහෙම වුණොත් ඔහු විපක්‍ෂ නායක ලෙස පිළිගන්න මම නම් සූදානම් නෑ. ඔහු ජාත්‍යන්තරය සමඟ කටයුතු කළ යුත්තේ හිටපු අමාත්‍ය කදිරගාමර් මහතාගේ දර්ශනය අනුවයි. ඒ විදියට කටයුතු කරනවා නම් විපක්‍ෂ නායක දෙමළ සුළු පක්‍ෂයක නායකයෙක්‌ කියන එක වැදගත් නෑ. මම ඔහු සමඟ කටයුතු කරන්න සූදානම්.

ප්‍රශ්නය - එජනිස ජාතික ලැයිස්‌තු මන්ත්‍රීන් පත් කිරීම අද අධිකරණ්‍ය දක්‌වා ගිය අර්බුදයක්‌ බවට පත්වෙලා. ඔබ මොනවද මේ ගැන හිතන්නෙ?

පිළිතුර - මේක අපේ පක්‍ෂ නායකයන් ගනු ලබන තීරණ නිසා ඒ ගැන කතා කරන්න මම කැමති නෑ. නමුත් ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න ඕනෙ උගතුන් වෘත්තීය සමිති නායකයන් වාගේ අයයි. උදාහරණයකට ජී. එල්. පීරිස්‌ මහතා වැනි අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. අනෙක්‌ කාරණය තමයි පක්‍ෂ නායකත්වය ඒ ගැන ආරාධනා කළාම තමන්ට එය ප්‍රතික්‍ෂේප කරන්න අයිතියක්‌ තියෙනවා. කවුරුත් එහෙම කරලත් නෑනේ. මේ නිසා පස්‌සා දොරෙන් ගිය අය කියල ජනතාව අතරේ මතයක්‌ ඇති වෙනවා. ඒකෙන් වෙන්නෙ පක්‍ෂය හෑල්ලුවට ලක්‌වෙන එකයි.

ප්‍රශ්නය - ඔබ දැන් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්‌. මොනවද ඔබේ ඉදිරි සැලසුම්? එජනිස හවුල්කාර පක්‍ෂ අලුත් පක්‍ෂයක්‌ හදන්න යනවා නේද?

පිළිතුර - කවුරු මොන පක්‍ෂ හැදුවත් මම ශ්‍රීලනිපය දාලා යන්නෙ නෑ. නමුත් ශ්‍රීලනිපය හැමදාම ජයග්‍රහණය කරලා තියෙන්නෙ හවුල්කාර පක්‍ෂ එක්‌කයි. අද ඒ හවුල්කාර පක්‍ෂ විවේචනය කරන ඇතැම් පිරිස්‌ ආණ්‌ඩුවට එකතුවෙලා වරප්‍රසාද බුක්‌ති විඳිනවා. ඉදිරියටත් අපිට රජයක්‌ හදන්න නම් පොඩි පක්‍ෂ එකතු කර ගන්න වෙනවා. සමහර අය අද චෝදනා කරන්නෙ පොඩි පක්‍ෂ ශ්‍රීලනිප පාලනය කරන්න හදනවා කියලයි. ඔය කියන තරම් ශ්‍රීලනිප ගැන කැක්‌කුමක්‌ තියෙන අය එජනිස පක්‍ෂ එකතු කරලා ශ්‍රීලනිපය ශක්‌තිමත් කරන්න මොනවාද කරල තියෙන්නෙ. දේශපාලන අනාගතයට ශ්‍රීලනිපයට ශක්‌තිමත්ව මුහුණ දෙන්න නම් කුඩා පක්‍ෂ සියල්ල ශ්‍රීලනිප වටා ඒකරාශී කර ගත යුතුමයි.

ප්‍රශ්නය - ඔබ ඔය දකින හීනය ළඟදී සැබෑ නොවන හීනයක්‌ නේද? ජනාධිපති මෛත්‍රීපාල මහතා සඳහන් කර තිබුණා මේ ආණ්‌ඩුව වසර 05 ක්‌ යන තුරු හොල්ලන්නවත් බෑ කියලා.

පිළිතුර - දේශපාලන හීන කවදාවත් ඉක්‌මනින් සැබෑ වන හීන නොවෙයි. දැන් මේ ආණ්‌ඩුව අවංකව කටයුතු කළොත් ජනතාව ඔවුන්ට කැමති වේවි. විශේෂයෙන් ජිනීවා සම්මේලනයේදී තීරණය කළ පරිදි මිශ්‍ර විනිසුරු මඬුල්ලක්‌ ඉදිරියේ අපේ රටේ යුද අපරාධ පිළිබඳව නඟන චෝදනා විමර්ශනය කරලා රණවිරුවන් පාවා දෙන්න ගියොත් නම් මේ ආණ්‌ඩුව ජනතාව විසින්ම ප්‍රතික්‍ෂේප කරාවි. එහෙම නැතුව රටට යහපතක්‌ වන ආකාරයෙන් මේ ප්‍රශ්නය විස¹ ගත්තොත් ජනතාව රජය සමග ඉදීවි.

ප්‍රශ්නය - ඔබ නියෝජනය කළ බස්‌නාහිර පළාත් සභාවට අලුතින් ප්‍රධාන අමාත්‍යවරයකුත් පත් කරලා. ඒ වාගේම බස්‌නාහිර සංවර්ධනයට කැබිනට්‌ ඇමැතිවරයකුත් පත් කරලා. ඔබ මේ ගැන හිතන්නෙ මොනවාද?

පිළිතුර - වත්මන් ආණ්‌ඩුව අමාත්‍යාංශයන් වෙන් කරලා තියෙන්නේ විද්‍යානුකූල පදනමකින් නොවෙයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වන සංශෝධනයෙන් පළාත් සභාවලට දුන්නු බලය නැවත වෙනත් ක්‍රමයකට ආපසු මධ්‍යම ආණ්‌ඩුවට ගන්න යෙදූ උපක්‍රමයක්‌ ද කියලා මේවායෙන් සැකයක්‌ උපදිනවා. කොහොම වුණත් බස්‌නාහිර පළාත දියුණු වෙනවා නම් මම තරම් සතුටු වෙන කෙනෙක්‌ නෑ.

මට නැවත මහ ඇමැතිකම භාර ගන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නෑ. ජනතාව මට ඡන්දය දුන්නේ නැවත පළාත් සභාවට එන්න නොවේනෙ. ඒ නිසා ජනතා කැමැත්ත අනුව මම පාර්ලිමේන්තුවේ මට හිමි තැන මම ඉන්නවා.

සාකච්ඡා කළේ - ජයසූරිය උඩුකුඹුර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5902897447053110794

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item