රට පුරා උග්‍ර පොහොර හිඟයක්

දිවයින පුරා උග්‍ර පොහොර හිඟයක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි. මේ හේතුවෙන් ගොවින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවත් මේ සම්බන්ධයෙන...

දිවයින පුරා උග්‍ර පොහොර හිඟයක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

මේ හේතුවෙන් ගොවින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවත් මේ සම්බන්ධයෙන් රජය කඩිනම් පියවරක් නොගතහොත් වී වගාවෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවනු ඇති බවත් එහි සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසී ය.

මේ අතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනිල් විරසිංහ මහතා සඳහන් කළේ, පොහොර හිඟයට කඩිනම් විසඳුම් ලබා දෙන බව ය.

නිසි ප්‍රමිතියෙන් තොර ආනයනික පොහොර තොගයක් රජය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ජාතික පොහොර ලේකම් කාර්යාලය අවශ්‍ය පෙහොර තොග කඩිනමින් ලබාදෙන බවට පොරොන්දු වූ බව ද සුනිල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

පොහොර සහනාධාරය: 'කුමන්ත්‍රණයක් බවට සැකයක්'

මේ අතර පසුගියදා ගොවි අයිතීන් සුරැකීමේ ජාතික සන්ධානය තංගල්ලේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ගොවි සංවිධාන නායකයින් පැවසූවේ පොහොර සහනාධාරය කපා හැරීම තුළින් ලක්ෂ දහඅටකට ආසන්න වූ ගොවි ජනතාවක් දැඩි අසීරුතාවයකට ලක්ව ඇති බවයි.

මෙහිදී කතා කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජේ .ආර් .ඩි .සිරිපාල පැවසුවේ අලුත් ක්‍රමය යටතේ පොහොර ලබා දෙන්නේ කුමන මිලකටද යන්න රජය සඳහන් කර නොමැති බවයි.

''අපි යම්කිසි නිර්දේශිත ක්‍රමයකට කුඹුරකට පොහොර යොදන්න ඕනා. අපි මේ සඳහා පොහොර ගත්තේ කිලෝ එකක් රුපියල් හත බැගින් සහනාධාර යටතේ. දැන් අපි අලුත් ක්‍රමයකට යන කොට එදා අක්කරයකට රුපියල් 896 කට ගත්ත පොහොර ඒ මිලට ගන්න පුළුවන් කමක් නෑ. අපට දැන ගන්න තියෙන විදියට විවෘත වෙළඳ පොලේ රුපියල් 3900 ක් පමණ වෙනවා මේ පොහොර මිටියක්. අපිට රජය කියලා නෑ මේ පොහොර මිටියක් ලබා දෙන කොට අපට මොන මිලකටද ලබා දෙන්නේ කියලා. ඒ නිසා අපට සැකයක් තියෙනවා මේ පොහොර සහනාධාරය කපා හැරීම තුල යම්කිසි කුමන්ත්‍රණයක් ඇති බව” ඔහු පැවසීය.

''අපට අක්කරයකට රුපියල් 12500 කට පමණ ලබා දෙන පොහොර පිළිබඳව එහි ප්‍රමිතීන් පිළිබඳව අපට සැකයක් තියෙනවා. කිලෝ 50 මිටියක් 3900ක් වෙන කොට කිලෝ වක් රුපියල් 78ක් වෙනවා. එතොකොට රුපියල් 71 ක් වැඩිපුර අපිට වැයකරන්න සිදුවෙනවා. අක්කරයක් හිමි ගොවියෙක් සාමාන්‍යයෙන් ගත්තහම රුපියල් 55313ක් පමණ අක්කරයක නිෂ්පාදන ක්‍රියාවලියට වියදම් වෙනවා. රුපියල් 30 කට කිලෝවක් විකුණුවත් වැඩ වියදම් කපා හරින කොට රුපියල් 19000ක් තමයි ගොවියෙකුට ලැබෙන්නේ මාස හයක් කන්න.''

“මුදල් ඇමතිතුමා කියලා තියෙනවා රුපියල් 35ට වෙනත් රටවලින් සහල් ගේන්න පුළුවන් කියලා. ඒ අඩුවට සහල් බෙදා හැරියම අපිට යන කල දවස මොකක්ද. අපි ගහගෙන ඉන්න අමුඩෙවත් ඉතිරි වෙන්නේ නෑ.” සභාපති ජේ .ආර් .ඩි. සිරිපාල වැඩිදුරටත් කියා සිටියේය.

පොහොර සහනාධාරය වෙනුවෙන් මුදල් ප්‍රදානයක්

පසුගියදා ඉදිරිපත් කළ 2016 අයවැය කතාව කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසූවේ සුළු ගොවීන්ට පමණක් හෙක්ටයාර 1ක් සඳහා පමණක් පොහොර සහනාධාරය වෙනුවෙන් රු.25,000 ක මුදල් ප්‍රදානයක් සිදුකරන බවත්, එමගින් රසායනික පොහොර භාවිතය හෝ එසේ නොවන ඵලදායි ක්‍රියාමාර්ග සඳහා ඉඩකඩ වෙන්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්ය.

ඒ සඳහා රු.මිලියන 37,500 ක් වෙන් කිරීමට යෝජනා කරන බව ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත් පසුව 2016 අයවැය දෙවන වර කියවීමේ අවසන් දිනයේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පිළිතුරු කතාව කරමින් මෙසේද පැවසීය.

“පොහොර සහනාධාරය සඳහා 2015 වසරේදී වෙන් කල රුපියල් බිලියන තිස් පහක මුදල (රුපියල් බිලියන 35) රුපියල් බිලියන තිස් හතයි දශම පහක් (රුපියල් බිලියන 37.5ක්) දක්වා වැඩි කරන බව මාගේ අයවැය කතාවේදී සඳහන් කළෙමි. ඒ අනුව දැනටමත් කෘෂිකර්ම අමාත්‍යාංශයට 2016 අයවැය ඇස්තමේන්තු මඟින් රුපියල් බිලියන තිස් පහක් (රුපියල් බිලියන 35ක්) වෙන් කර ඇත. අයවැය දෙපාර්තමේන්තුවේ පරිපූරක සහය සේවා යටතේ තවත් රුපියල් බිලියන දෙකයි දශම පහක් (රුපියල් බිලියන 2.5ක්) වෙන් කර ඇත. ඒ අනුව පොහොර සහනාධාරය සඳහා වෙන් කළ මුදල අඩු කිරීමක් සිදු කර නොමැත.“

“අයවැය කතාවේදී පොහොර සහනාධාරය ලැබිය යුතු, වී ගොවීන් නිශ්චිතව හඳුනාගෙන ඵලදායීතාවය වැඩි වන පරිදි මෙම සහනාධාරය ලබා දීමට යෝජනා කරන ලදී. ගරු මන්ත්‍රී තුමන්ලාගේ සහ ගරු අමාත්‍ය වරුන්ගේද අදහස් සැලකිල්ලට ගෙන පොහොර සහනාධාරය ලබා දෙන සංඛ්‍යාව වැඩි වන සේ හෙක්ටයාර් එකක උපරිම සීමාව හෙක්ටයාර් දෙක දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරමි. මේ පිළිබඳව මා කෘෂිකර්ම අමාත්යාතුමා හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟද දීර්ඝව සාකච්ඡා කරන ලදී. ඒ අනුව, පොහොර සහනාධාරය ඉලක්කගත කණඩායමකට හිමි වන සේ සහ නිෂ්පාදනය වැඩි වීම පදනම් කොට ගෙන ලබා දීමට අපේක්ෂා කරමි. මෙහිදී සුළු ගොවීන් සියලු දෙනා ආවරණය වනු ඇත. එසේම, මෙය වී ගොවීන් හට පමණක් නොව තෝරාගත් පලතුරු වගාවන් සහ එළවලු වගාකරුවන්ටත්, අල, ලූණු, බඩඉරිඟු, මිරිස්, සෝයා වැනි ආහාර භෝග සඳහාද ලබා දීමට අදහස් කරමි. මෙම පොහොර සහනාධාරය, මුදලින් ලබා දීමට ක්‍රියා කිරීම මගින් සහනාධාරය ලැබිය යුතු ගොවීන්ව ඉලක්කගත කිරීමටත්, ගොවීන් රසායනික පොහොර භාවිතයෙන් කාබනික පොහොර භාවිතයට යොමු කරවීම ධෛර්යමත් කිරීමටත්, ආහාර නිෂ්පාදනය වැඩි කිරීමටත් අපේක්ෂා කරමි.“ යැයිද හෙතෙම සදහන් කළේය.

“කිසිඳු සුළු පරිමාණ ගොවියකු අප අතහරින්නේ නැහැ. මෙහි සඳහන් පරිදි සැමට මෙම සහනාධාරය මුදල් වශයෙන් ලබා දෙනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1069924429288514388

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item