ඩෙඟ ඩෙඟ පනත

බුද්ධ ධර්මය සුබවාදීද නොවේ. අසුබවාදීද නොවේ. බුදුදහම ඇත්ත ඇති සැටියෙන්ම දක්නා හෙයින් එය යථාර්ථවාදී...


බුද්ධ ධර්මය සුබවාදීද නොවේ. අසුබවාදීද නොවේ. බුදුදහම ඇත්ත ඇති සැටියෙන්ම දක්නා හෙයින් එය යථාර්ථවාදීය. මිනිසා මුසාවෙන් නළවා මායා ලෝකයක සැතැප්පීමක් හෝ බොරු බියවලින් සහ පව්වලින් තැතිගැන්වීමක් හෝ බුද්ධ ධර්මයේ නැත්තේය. බුදුදහමට තිබූ මෙම පූජනීය හා රාජ්‍යතාන්ත්‍රීක වැදගත්කම වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ ජනතාව විසින්ම රජුන්ටත් ඉහළින් ස්‌ථානගත කරන ලදී. මෙම පිළිගැනීමට ගරුකිරීමට උඩරට ගිවිසුම ඇතිකර ගන්නා අවස්‌ථාවේදී ඉංග්‍රීසි පාලකයින්ට පවා සිදුවිය.

වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ තිබූ පන්සල් සංඛ්‍යාව 8,582ක් වූ අතර එහි සිටි උපසම්පදා භික්ෂූන් සංඛ්‍යාව 14,681කි. එමෙන්ම සිටි සාමනේර හිමිවරුන් සංඛ්‍යාව 16,741කි. මෙම සියළු 31,422 භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ සියම්, අමරපුර සහ රාමඤඤ ප්‍රධානම නිකායන් 3ක් යටතේ පිහිටුවාගෙන ඇති පිළිගත් පාර්ශවයන් 32කට අයත් විය. සියම් නිකාය මල්වතු අස්ගිරි නමින් පිලිගත් ප්‍රධාන පාර්ශවයන් 2ක් ඇති බැවින් ලංකාවේ සිටින මුල් පෙළේ මහා නාහිමිවරුන් සංඛ්‍යාව 4කි. අමරපුර නිකායේ පමණක් පාර්ශවයන් 22ක් ඇත. ලාංකීය ජනතාව මේ සියළු පාර්ශවයන්ට වඩා ගරුකරන රටේ සමාජ, ජාතික, ආගමික, සංස්කාතික ප්‍රශ්න වලට නායකත්වය දෙන සියළු පාර්ශවයන්ගේ සංකලනයක්වූ සටන්කාමී බෞද්ධ හිමිවරුන් පිරිසක්ද ඇත. 

මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් භික්ෂුවකගේ උරුමයේ සඳහන් කර ඇත්තේ මිෂනාරින්ගේ ඉගැන්වීම්වලට අනුව ඇතිදැඩි වුණු ධනවත් පන්තියේ සිංහලයෝ, භික්ෂූන් ජාතික සේවයෙන් ඉවත්ව දාන, පිරිත්, පාංශුකූල ආදියට පමණක් කැපව පන්සල්වලට වී සිටිය යුතුයැයි විශ්වාස කරන බවය. ලාංකීය වාමාංශික දේශපාලන පක්ෂ තුළද මුලසිටම දේශපාලන භික්ෂූන් ක්‍රියාත්මක වූහ. එය 1935 දෙසැම්බර් 18 වැනිදා ලංකා සමසමාජ පක්ෂය ආරම්භයේ සිට සිදුවිය. ජනතාව මතවාදිව හැඩගැස්වීමෙහිලා භික්ෂූහු ඉතිහාසය ආරම්භයේ සිට මේ දක්වා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබේ.

එජාප ආණ්ඩුව 2016 ජනවාරි මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ථේරවාදී භික්ෂූ කතිකාවක් නමින් පනත් කෙටුම්පතින් බලාපොරොන්තු වන්නේ ධනපති පන්තියට අවශ්‍ය හීලෑවු එවැනි භික්ෂු පරපුරක්ද? එය සිදුවිය යුතු නැත. සිදුවීමට ඉඩ දිය යුතුද නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 63 දෙනෙකු අන්‍යාගමිකයන් වන අතර භික්ෂූන්ට නීති සම්මත කිරීමට ඔවුනට ඇති අයිතිය කුමක්ද? ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නටදැයි පැහැදිලිය. දැන් ඇතමෙකුට ඇත්තේ තුන්බියකි. ඒ මහ සඟරුවන, රාජපක්ෂලා සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුරකීම පිළිබදවය. මල්වත්ත සහ අස්ගිරිය පාර්ශවයන්ට නීතියක් ඇත. එය පූර්වාදර්ශයකි. සඟ සසුනේ අභ්‍යන්තර නිකාය ප්‍රශ්න වෙනුවෙන් රජය අත නොගැසිය යුතුය. විනය පිටකය පාලනය කිරීමේ බලයක් ආණ්ඩුවට නැත. 

යෝජිත පනත සඳහා කතිකාවත ඇති කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙනි. එහෙත් එහි නිමාවක් දුටුවේ නැත. මහ නාහිමිවරුන්ගේ ලිඛිත අනුමැතියෙන් තොරව එය කෙටුම්පත් කිරීමට අවසර දුන්නේ නැත. එමෙන්ම සංඝාධිකරණය නීතිගත කරනවා මිස පාර්ලිමේන්තුවේ මහ සඟරුවනට නීතිරීති පැනවීමට සන්ධාන ආණ්ඩුව එකඟවූයේද නැත. නිකායන් හෝ පරපුර ධර්මානුකූලව පවත්වා‍ගෙන යෑමේ අරමුණින් ඊති මාලාවක් දැනටමත් ඇත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සිදුකළේ ක්‍රමානුකූලව පන්සල්වල හාමුදුරුවන්ද සාකච්ඡාවන්ට එක්කර ගනිමින් කතිකාවක් නිර්මානය කිරීමය. පනත් කෙටුම්පත භික්ෂු ශාසනයේ යහපත වෙනුවෙන් සියළු නිකායන්ට එකලෙස බලපාන අයුරින් සකස් කිරීම සදහා සාමූහික කතිකාවතක් ඇති කිරීම ඒ යටතේ සිදුවිය. එසේ නොමැතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවසාන කෙටුම්පතක් නිමකර තිබුණේ නැත.

ශ්‍රී ලංකාව, බුරුමය(මියන්මාරය), තායිලන්තය, ලාඕස්, කාම්බෝජය මෙන්ම චීනයේ කොටසකද ථේරවාදී බුදුදහම අනුගමනය කරති. බොරැල්ලේ පැල්පොල විපස්සි හාමුදුරුවෝ 1992දී පූජ්‍ය බෙමිපෝ නමින් මහායාන ආගමේ නැවත පැවිදිවී මහායාන ආගම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට තැත්කලද භික්ෂූන්ගේ විරෝධය නිසා ජනාධිපති ප්‍රේමදාස ආණ්ඩුව එයට ඉඩ දුන්නේ නැත. මියන්මාරයේ සහ තායිලන්තයේ මෑත කාලීන ජනතා අරගලවලදීද ශ්‍රී ලංකාවේ 1986 සිට 90 දක්වා ආණ්ඩුවේ මර්ධනයට එරෙහිවද පෙරමුණ ගත්තේ බෞද්ධ භික්ෂූන්ය. අසූව දශකය අගභාගයේදී ජවිපෙ 2වැනි කැරළි සමයේදී භික්ෂූන් 681ක් රජයේ ආරක්ෂක හමුදා සහ අර්ධ මිල්ටරි කණ්ඩායම් මගින් ඝාතනය කරන ලදී. මේ සූදානම් වන්නේ ඉදිරියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට භික්ෂූන්ට ඇති ඉඩකඩ ඇතැම් නිකායන්වල සිටින ආණ්ඩු හිතවාදී ඩෙඟ ඩෙඟ සඟරුවන මගින් මර්ධනයට ලක්කිරීම සඳහා ඉඩකල විවරකර ගැනීමක් විය හැකිය. එදා එජාප ආණ්ඩුව සහ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කළේ ගැටඹේ හාමුදුරුවන්ට එරෙහිව ගැටඹේ පන්සල වටා කටු කම්බි ගැසීමය. මේ සිදුකිරීමට වෙර දරන්නේ ලාංකීය ප්‍රගතිශීලි භික්ෂූ ව්‍යාපාරය බුල්ඩෝසර්කර දැමීමකි. 

එජාපයට ඉතිහාසයේ ආරම්භයේ සිට කහ සිවුර අරහංය. පන්සල අකැපය. සිංහල භාෂාව සහ බුද්ධාගමේ ආරක්ෂාව පිණිස දිවි හිමියෙන් ක්‍රියාකරන බවට සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් හවුල 1968 ජනවාරි 8වැනිදා සත්‍යයග්‍රහයක් පැවැත්වීමෙන් පසු ගාලු මෝදර බලා ගිය පෙළපාලියට එජාප ආණ්ඩුව වෙඩි තැබීය. වෙඩි පහරින් දඹරාවේ රතනසාර හිමි අපවත් වූහ. ගම්පහ සාම විහාරයේ නායක ආචාර්ය දරමිටිපොල රත්නසාර හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පන්සලේදී පැවැති පැවිදි හඬ සංවිධානයේ රැස්වීමක්ද එජාප ආණ්ඩුව මගින් පොලිස් අධිකාරි ප්‍රේමදාස උඩුගම්පොල ලවා තහනම් කළේය. එයට එරෙහිව දරමිටිපොල රතනසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් නඩුවක් පැවරූ අතර පෞද්ගලිකව මුදලින් වන්දියක් උන්වහන්සේට ගෙවන ලෙස පොලිසියේ උඩුගම්පොලට ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී නියෝග කළේය. එජාප ආණ්ඩුව උඩුගම්පොලට පොලිසියේ උසස්වීමක් ලබාදී උඩුගම්පොලගේ වන්දි මුදල ආණ්ඩුවෙන් ගෙවා දැමීය. මේ එජාපය පන්සලට ඇති ආලයේ තරමය.

බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණගම කුසලධම්ම හිමි කිහිපනමක්ද පොලිස් එ‍‍‍ෆ්.සී.අයි.ඩීට ගෙන ප්‍රශ්න කළේය. තමා ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යාමට එන බව අසා ඇතිවූ අසනීප තත්ත්වයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවිය. රක්ෂිත වනාන්තර වලින් අලි ඇතුන් සොරකම් කර විකුණා එම අලි රෝගාතුරව මියගිය පසු වළලා ඇතැයි කියමින් මහරගම විපස්සනාරාම පන්සල් භූමිය රහස් පොලිසියේ ඉල්ලීමක් මත අධිකරණ නියෝගයක් ලබාගෙන බැකෝ යන්ත්‍ර යොදා හෑරුවේය. පන්සල්වල අලි හොර රහ‍සේ වලලා ඇතැයි දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරව හතර වටේ ප්‍රචාරය කළේය. අලි ඇටසැකිලි නොව කටුස්සෙකුගේ හෝ ඇට සැකිල්ලක් පන්සල් භූමියෙන් හමුවූයේ නැත. ඉන් පාච්චල් වූ‍යේ බුද්ධාගමය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැදවා(එෆ්.සී.අයි.ඩී) ප්‍රශ්න කිරීමෙන් සමච්ඡලයට ලක්වූයේ බෞද්ධාගමටය. මේවාට මාධ්‍ය සංදර්ශන පවත්වා අතිවිශාල පුළුල් ප්‍රචාරයක් දෙන ලදී. අවසානයේ කන්දක් විලිලා මීයෙක්වත් වැදුවේ නැත. අලි මදිවට හරක් කීවා සේ ජනතාවට දුක ප්‍රචාරක වාසි තකා ඕනෑම අලජ්ජි පෙරමුණකට කඩේ යන උත්තමයන් සුළු පිරිසක්ද ඩෙඟ ‍ඩෙඟ පනතට පක්ෂව වර්තමානයේ හඬ නැගීමය. 

සංහිදියාව සහ සහජීවනය අගය කිරීම සඳහා පාසැල්වලට යවන චක්‍ර ලේඛන වලද ප්‍රවර්ධනය කරන්‍නේ අන්‍ය ආගමික උත්සවයන්ය. හම්බන්තොට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඒ.සී රසාංජලී යවන ලද චක්‍රලේඛනයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කියා සිටින්නේ අන්‍ය ආගමික උත්සව ප්‍රවර්ධනය කර තිබුණද පෝය දිනයන්හි වැදගත්කම හෝ හැදින්වීමක් කර නොතිබිණි. පාසල් පෙළපොතෙන් නාගදීප නම ලඟදීම ඉවතට යනු ඇත. පෙලපොතේ සිංහල ඉතිහාසය වෙනස් කරන්නේ බටහිරට රුචි පරිදිය. සමඟි පෙරමුණු ආණ්ඩුවේ හිටපු අධ්‍යාපන ලේකම් ආචාර්ය ප්‍රේමදාස උඩගම අධ්‍යාපන විෂය මාලාවෙන් ඉතිහාස විෂය ඉවත්කර සමාජ අධ්‍යයනය මැයින් විෂයක් හඳුන්වාදී ඉතිහාසය කටුගෙට යැවීය. එම පාපය අදටත් සිංහල දූ පුතුනට බලපා ඇත. එවකට අධ්‍යාපන ඇමතිව සිටියේ බදුදීන් මහමුඩ්ය. ඉදිරියේදී පාසැල් විෂය මාලාවෙන් බුද්ධාගම ඉවත් කිරීමට චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික සහජීවනය සඳහාවූ කාර්යාලය යෝජනාකර තිබේ. ඒ වෙනුවට සියළු ආගම් ගැන සිසුනට අධ්‍යාපනය ලබාදෙන නවතම විෂයක් එක්කිරීමටද යෝජනාවී ඇතැයි පුවතක් පලවිය. අනේ අපොයි කියන්නේ මේවාටය. 

පැවිදි පාලනයට ගිහි සමාජයෙන් නීති දාන යෝජනා ෆුල් මාවලස්ය. නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින උදවිය පවා නීතිය අභිබවා යන පරිසරයක් තුළ නීතිය වල්වැදී ඇති බව හිරුණිකා දැරියගේ පමණක් නොව ඇඹිලිපිටියේ සිද්ධියෙන්ද රටට පසක් විය. හාමුදුරුවන්ට නීති දැමීමට පෙර රටේ නීතිය ස්ථාපනය කල යුතුය. නැතහොත් එය හාස්‍යයට කරුණකි. හාමුදුරුවන්ට පනත් ගෙන එන්නට කලින් පාර්ලිමේන්තුවේදී කලින් හකුලාගත් අන්‍යාගම්කරණය කිරීමේ පනත සම්මතකර ගැනිමට පසුබට වන්නේ ඇයිදැයි කිසිවෙකුට අටුවා ටීකා අවශ්‍ය නැත. අවම වශයෙන් පිරිවෙන්හි අධ්‍යාපනය ලබන පැවිදි සිසුන් 35,622කට වසර 2015 සඳහා රජයෙන් නොමිලේ හිමිවිය යුතු සිවුරු රෙදි එම වසරේ ලබාදීමට හෝ ආණ්ඩුව සමත්වූයේ නැත. එය 1990 සිට නොකඩවා සෑම රජයකින්ම කලට වේලාවට ලබාදුන්නෙකි.

ගොවියාගේ පොහොර ටිකට තට්ටුය. පාසැල් දරුවාගේ ඇදුම රුහිතෙටය. රජයේ විධායක නිලධාරියාගේ වාහන පර්මිට් එකට මඤ්ඤංය. පතා‍ලේ හිස ඔසවමින් පවතී. ඩිෆෙන්ඩර් වලින් කොල්ලෝ උස්සති. නීතිය රකින පොලිසියම කොල්ලෝ කෝටු මස් කරති. එහෙව් රටක හාමුදුරුවන් පාලනයට නීති ගෙන ඒම ලෝක විහිළුවකි. චීවරධාරින් ඉතාම ඉතා සුළු පිරිසක් කරන වැරදි උළුප්පා පෙන්වා විනය පිටකය රකින මහා සඟරුවනට නීති පැනවීම මහා පවකි. බොකු සෝදන්නට නරියා තරම් සමත් ජගතෙකු නැතැයි කියන්නේ නිකමට නොවේ. මහා සඟරුවනට කරදරයක් කිරීමට රජයට අවශ්‍ය වූවහොත් මෙම නීති භාවිතා කල හැකිය. 

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ අධිරාජ්‍යයට එරෙහිව හෝ මව්බිමේ නිදහස පතා විප්ලවය ඇරඹුණේ පන්සලෙනි. ශ්‍රී ලංකාවේ 19වැනි සියවසේ සිදුවූ ගොවිජන කැරළි පිළිබඳව අරගලයට නායකත්වය දුන්නේ පන්සලෙනි. 1816 සහ 1818 කැරළිවලදී ප්‍රධාන වැඩ කොටසක් කැරළි නායකයින් සමඟ ඉටුකරනු ලැබුවේ ඉහළගම රතනපාල ඇතුළු භික්ෂූන් විසින් පන්සල මුල්කර ගනිමිනි. පන්සල් රාජදෝහී ස්ථාන ලෙස ඉදිරියේදී සලකන්නේනම් 1918 කැරැල්ලේදී හිරභාරයට ගත් අඹගොල්ලේ හිමි ඇතුළු පිරිසට බ්‍රිතාන්‍යයන් පැවසූ පරිදි ශ්‍රී ලංකාවේ ඇති සෑම බෞද්ධ පන්සලක්ම කුමන්ත්‍රණ ගුහාවකි. 

බ්‍රිතාන්‍යය ආණ්ඩුකාර ටොරින්ටන් විසින් 1848 අගෝස්තු 26වැනිදා කුඩාපොල හිමි සිවුරු පිටින් වෙඩිතබා ඝාතනය කල අතර එය පසුව ප්‍රතිවිපාක ගෙන දුන් ප්‍රබල සිද්ධියක් විය. මුද්‍රණ කම්කරුවන්ගේ 1893 වැඩ වර්ජනයට සහ දුම්රිය කම්කරුවන් 1912දී කල වර්ජනයට වෘත්තීය සමිති නායකයෝ වැඩකළේ පන්සලේ ක්‍රියාකාරි සහාය මතය. ලංකාවේ නිදහස් සටනේ පෙරමුණගත් අභීත යතිවරයකු වූයේ 1902 ජනවාරි 07 කුරුණෑගල උඩකැන්දවල ග්‍රාමයේදී උපන් උඩකැන්දවල සරණංකර හිමියන්ය. ලංකා කොමියුනිස්ට් පක්ෂය 1943දී පිහිටුවාගත් අවස්ථාවේදී එහි ආරම්භක සභාපතිවරයා වූයේද උන්වහන්සේය. නරාවිලි ධර්මරතන සහ දුම්බර පාලිත යන හිමිවරුන් ගොවි ජනතාව වෙනුවෙන් දේශපාලන වැඩකළේ පන්සලෙනි. 

භික්ෂූන් සහ පන්සල දේශපාලනයට සම්බන්ධවීමට විරුද්ධව එකළද එජාපයේ දේශපාලනඥයින් වූ ඩී.එස්. සේනානායක සහ ආර්.ජී. සේනානායක සිය වාග් ප්‍රහාරයන් අද මෙන්ම එල්ල කළෝය. විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂූන් වෙනුවෙන් කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හිමි එයට පිළිතුරු දුන්නේ භික්ෂූන් සහ දේශපාලනය යන මැයෙන් 1946පෙබරවාරි මස නිකුත් කල ප්‍රකාශයෙනි. එහි මෙසේද සඳහන් විය. “....මනුෂයින්ගේ යහපත සදහා කරන සෑම වැඩසටහනක්ම දේශපාලනයට අයත්ය. රටවැසියන්ගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙලක් වේනම් එහි නම දේශපාලනය හෝ කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂූන්ට සුදුසුමය. එපමනක් නොව රටවැසියන්ගේ දියුණුවට බාධා කරන කරුණුවලට විරුද්ධව ක්‍රියාත්මකවීමද භික්ෂූන්ට අයත්ය...."

වානිජ පරමාර්ථයෙන් කටයුතු කරන හිමිවරුන්ද සිටින බව සැබෑවකි. ඔවුනට දැනට පවතින ස්ථාපිත අධිකරණ වලින්ම දඬුවම් හිමිව තිබේ. ස්ත්‍රී අපචාර වලට වැරදිකරුවන්වූ චීවරධාරීන් නීතිය මගින් දඬුවම් කල අවස්ථා අනේකවත් ඇත. වල්ලි අම්මාගේ බලයෙන් වශී ගුරුකම් කරන හිමිවරුන් එලවා දැමිය යුතුය. කාන්තා නාභි නිලයන් අල්ලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කල රුවන්වැල්ලේ සෝභිත දැන් මහඋළුගෙදරය. එයට පෙර කෑගල්ලේ ශාසනාරක්ෂක මණ්ඩලය රුවන්වැල්ලේ සෝභිත උපැවිදි කළේය. භික්ෂූන්ට රියදුරු පත්‍රයක් ලබාදීම මෝටර් රථ කොමසාරිස් ප්‍රතික්ෂේප කල විට එය අධිකරණයද අනුමත කළේය. 

බුදු දහම ඉගැන්වීම සඳහා භික්ෂූන් පුහුණු කිරීමටම වෙන්කල නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන පීඨයේ භික්ෂූන් පිරිසක් ගුරු පත්වී‍ම් ලබාගැනීමෙන් පසු උපැවිදිවූ අතර පසුව අධ්‍යාපන සේවා කොමිසම ඔවුන්ගේ පත්වීම් අහෝසි කළේය. එයට එරෙහිව උපැවිදි වූ භික්ෂූන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ‍ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණය එය නිෂ්ප්‍රභා කරමින් කියා සිටියේ අධ්‍යාපනය ලබා පත්විම ගත්තේ භික්ෂූන් වශයෙන් බුදුදහම ඉගැන්වීමට මිස ගිහියෙකු වශයෙන් ඉගැන්වීමට නොවන බව කියමිනි. මෙවැනි පුර්වාදර්ශ නඩු භික්ෂු ශාසනයට එමටය. ඒවාට අළුතින් පනත් පැනවිය යුතු නොවේ. සංඝාධිකරණය විසින් අළුතින් අණ පනත් පිළිබඳ කතිකාවතක් ඇතිකල යුත්තේ අන්‍ය ආගමික ස්ථානයන්හි ගැවසෙන වටරැක විජිත වැනි හිමියන්ටද, තමන් රහත්වී යැයි කියන සමන්ත භද්‍රලා පිළිබදවය. 

ආර්ථික අර්බුදය උග්‍රය. සංවර්ධනය පවත්වාගෙන යෑම ප්‍රශ්නයකි. රුපියල කඩා වැටේ. රණවිරුවෝ කබලෙන් ලිපටය. මේවා වැසිය හැක්කේ හදිසි නීතිය යොදා මර්ධනයෙන් පමණි. ලාංකීය භික්ෂු පරපුරට එරෙහිව මේ නීති දැමීමට හදන්නේ ඉදිරියේදී සිදුවෙතැයි අපේක්ෂිත ජනතා විරෝධී ක්‍රියාමාර්ග වලදී සටන්කාමී බලවේගය බවට උන් වහන්සේලා පත්වන බැවිනි. යෝජිත පනතින් අදහස් කරන්නේ ලාංකීය භික්ෂුව සතු සමාජ නායකත්වය දියකර හැර රට අබල දුබල කිරීමට එරෙහිව චිරාත් කාලයක් තිස්සේ අපට තිබුණු බුදු දහමේ නායකත්වයට කණ කොකා හැඩවීමටය. 

වසර 1964දිද පත්තර පනත එරෙහිව එජාපය වෙනුවෙන් වේදිකාවක් වේදිකාවක් ගානේ කෑගැසුවේ මහ සඟ පෙරමුණය. එහි සභාපති නාරවිල ධම්මරත්න හිමි, ලේකම් මීටියාගොඩ ගුණරත්න හිමි සහ ප්‍රධාන කථිකයා වූයේ දැවමොට්ටාවේ අමරවංශ හිමිය. මේ 'ගාය' එවකට ඇත්ත පත්තරේ කර්තෘ රිචඩ් ‍විජේසිරි හැදින්වූයේ ඩෙඟ ඩෙඟ පෙරමුණේ හඬ ලෙසිනි. ඩෙඟ ඩෙඟ නමේ නිර්මාපකයා වූයේ ඇත්තේ එච්.ජී.එස්. රත්නවීරය. වර්තමානයේ ඩෙඟ ඩෙඟ පනත් කෙටුම්පත වෙනුවෙන් පෙනී සිටින්නේද එවැනිම පිරිසකි. පනත කෙටුම්පත මාරය. එය සම්මත වූවහොත් ශාසනය හමාරය.(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 1629828597115027847

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item