හමාර නොවූ නියගය පුත්තලම වෙලා ගනි[PHOTOS]

රුදුරු පිලිකාවක් ලෙස නියගය පුත්තලම දිස්ත්‍රික්කය පුරාවටම වෙලා ගනිමින් උග්‍ර පානිය ජල ගැටළුවකට මුහුණ පා තිබේ. ප්‍රදේශ රැසක බොහෝ පිරිස් පිපා...

රුදුරු පිලිකාවක් ලෙස නියගය පුත්තලම දිස්ත්‍රික්කය පුරාවටම වෙලා ගනිමින් උග්‍ර පානිය ජල ගැටළුවකට මුහුණ පා තිබේ. ප්‍රදේශ රැසක බොහෝ පිරිස් පිපාසයෙන් තැවෙමින් දැවෙමින් සිටීම නියගයේ තවත් ප්‍රථිඵලයකි . ඒ හේතුවෙන් ගම්දනව් සිසාරා බොහෝ පිරිසක් දැඩි අපහසුතායට ලක්ව ඇති බව පුදුමය දනවන්ක්ව තිබේ.

බීමට දිය පොදක් සොයා සැතපුම් ගණන් පා නගන දසුන් එමටය. නමුත් නිළධාරින්ට නම් නියගය තවමත් ඇත්තේ ගව්ගණනක දුරින් බව ඔවුන්ගේ වාර්තා මගින් හෙළිව තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 16 අතරින් පුත්තලම,වනාතවිල්ලුව,කරුවලගස්වැව,නවගත්තේගම,ආණමඩුව, මහකුඹුක්කඩවල, මුන්දලම හා පල්ලම යන බල ප්‍රදේශයන්හි දැඩි ලෙස නියගය වෙලා ගනිමින් තිබීම පුදුම සහගතය. 

මෙවර නියගය ක්‍රමයෙන් ජනතාවගේ බෝග වගාවන් වනසමින් ආරම්භ වෙමින් තිබේ. දිස්ත්‍රික්කයේ විශාල ජලාශ යටතේ වගා කල කුඹුරු වගාවන්ට එතරම් බලපෑමක් නොතිබුණද, කුඩා වැව් යටතේ වගාකල කුඹුරු අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් මේවන විට විනාශයට ලක්ව ඇත්තේ කුඩා වැව් තුල ජලය බිදක්වත් ඉතිරි නොවීම නිසා වෙනි.

භූගත ජලය සීග්‍ර ලෙස පහල බසිමින් බීමට ගන්නා ජලය පිළිබදව බරපතල අවධානමක් ගෙන තිබේ. බීමට ගන්නා ජලය මේ වන විට සීග්‍ර ලෙස හිගවීම නිසා අපිරිසිදු ජලය ජනතාව පානය කිරීමට පෙළඹී ඇති බව ජනතාව කියයි. කුඩා වැව් තුල ජලය සිදී යාමත් සමගම සතා සිව්පාවුන්ද පත්ව ඇත්තේ පුදුමාකාර අසීරුතාවයකටය.

මේ වන විට බීමට ගන්නා ජලය පමණක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයක බෙදා දීම සිදුවුවද, එයද නිසි ලෙස සිදු නොවන බවට ජනතාව චෝදනා කරති. 

නියගය පිළිබදව සොයා යෑමේදී ඇතැම් ප්‍රදේශවල ජනතාව තමන් පත්ව ඇති අසීරුතාවය හෙළිකිරීමට දක්වන මැලිකම නිසා එයට හේතුව කුමක් දැයි සොයා බැලීමේදී දැන ගන්නට ලැබුනේ මෙම තොරතුරු ලබා දීමෙන් තමන්ට හිමි සමෘද්ධි සහනාධාරය හා අනෙකුත් රජයෙන් ලැබෙන අධාර අහිමිකරන බව ග්‍රාම නිළධාරින් හා අනෙකුත් රාජ්‍ය නිළධාරින් පීඩාවට පත් ජනතාව තවදුරටත් මෙලෙස පීඩාවට පත්කරන බවයි.

මාස ගණනාවක් පුරා පැවති දැඩි නියං තත්වය පසුගිය දිනවල පැවති වර්ෂාවෙන් නිමා වෙමින් මරණය අභියස හඩා වැටෙමින් තිබු පරිසරය යලි පණ නන්වමින් තිබේ. නමුත් නියගයෙන් සිදි ගිය වැව් වෙත ලැබුන වැස්සෙන් පිරි ගියේ ද නැත. එසේම සිදි ගිය ළිං වලටද එකුදු ජල බිදක් ලැබි නැත. සැබැවටම නියගයද දේශපාලඥයින්ගේ පොරොන්දුවක් ලෙසට පත්ව තිබේ.

මේ දිනවල බොහෝ පිරිසගේ අවධානය යොමුව ඇත්තේත්, මාධ්‍ය තුළින් අනාවරණය කරන්නේත්, රජරට නියගය පමණකි. එහි සත්‍යයක් නැතුවාම නොව රජරටද, නියග දැඩි ලෙස බලපාමින් තිබේ. පුත්තලමද, නියගයෙන් වේලා ගෙන ඇති බව කිව යුතුව තිබේ. 

නියගයේ ඛේදණීය ඉරණම සුළු පටු නැත. පසු ගිය වර්ෂයන් වලට සාපේක්ෂව මෙවර නියගය ජනතාවට බරපතල පිඩාගෙන දෙමින් තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය ලේකම් කොඨඨාශ 16 අතරින් පුත්තලම, වනාතවිල්ලුව, කරුවලගස්වැව, නවගත්තේගම, ආණමඩුව, පල්ලම, මුන්දලම, මහකුඹුක්කඩවල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ වෙලා ගනිමින් නියගය හමා යමින් 30000ට ආසන්න පවුල් සංඛ්‍යාවක් බිමට පිරිසිදු ජල බිදක් සොයා ගැනිමේ අර්බදයට මුහුණ දි ඇති අතර දිය නෑමට සැතපුම් ගණනක් පා නගන දසුන් එමටය.

නමුත් රාජ්‍ය නිළධරින්ට නියගය එතරම් දරුණු වී නැත. නියගයෙන් පීඩා විදින මහ ජනතාවගේ දුක්ගැනවිලි තුට්ටුවකට මායිම් නොකරන බොහෝ දෙනෙකු නියගය පුත්තලමේ තිබේ දැයි කීමටත් අකමැති තත්වක සිටින බවද සදහන් කල යුතුව තිබේ.

නියගය දිනෙන් දිනෙම රුදුරු වෙමින් තිබීම සමහර අවස්ථාවන් වලදී පීඩාවට පත්ව ජනතාව අපෙන් වෛරයක් පිරිමහගන්න හදනවාදෝ යැයි නිතර කියන කතාවක් බවට පත්ව තිබේ.

නියගයේ තරම තවදුරටත් කියා පාන අනිත් කරුණනම් කිරි ගව ගාල් හිමිකරුවන්ගේ ආර්ථිකය බිංදුවට බස්සවන්නට සමත්ව තිබීමයි. නියගය නිසාවෙන් කිරි නිෂ්පාදනය 75% දක්වා සීඝ්‍රයෙන් පහත වැටි තිබේ. නියගය බල පා ඇති ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ අතරින් කරුවලගස්වැව,ආණමඩුව,පුත්තලම,මහකුඹුක්කඩවල කිරි ගවගාල් දහසකට ආසන්න ප්‍රමාණයක් පිහිටා ඇති අතර, කිරි ගවයින් 20000ට ආසන්න ප්‍රමාණයක් සිටින බව පශු වෛද්‍ය කාර්යාල වාර්තා මගින් සනාථ වෙයි. 

උපරිම කිරි ධාරිතාවක් ලබා දුන් කිරි ගවයින්ගේ කිරි ධාරිතාවය ක්ෂය වී තිබෙන බවටයි. කිරි ගාල් හිමියන් මැසිවිලි නගන්නේ. මෙවර නියගයත් සමග මේ වන විට දිනකට ලබා ගත හැක්කේ උපරිමය කිරි ලීටර් 2-3ක් බව ගවගාල් හිමිකරුවන් පවසති. කිරි නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස පහත වැටීමත් සමග ගවගාල් හිමිකරුවන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇත්තේ මෙම ගවගාල් නඩත්තු කිරීමට යන අධික වියදම නිසාවෙනි. 

මෙම ගවගාල් හිමිකරුවන් පත්ව සිටින අසීරුතාවය පිළිබදව කිසිදු ආකාරයක සොයා බැලීමක් මේ වන තෙක් සිදු නොවීම නිසාවෙන් ඔවුන්ගේ ආර්ථිකයට සෘජු බලපෑම් එල්ලවී ඇති බව කියති. 

සියල්ල එසේ සිදුවෙද්දි ගිනි ගත් වාලුකාවට බලාපොරොත්තුවේ පොද වැස්සක් වැටෙන තෙක් බලා සිටින තවත් එක්තරා පිරිසක් ගැන සදහන් කල යුතුව තිබේ. ඒ අන්කවරෙක් හෝ නොවේ. වන සිව්පාවුන්ටය. මොවුන්ට මෙවර නියගයේ බරපතලකම දැඩි ලෙස බලා තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානය සහ තබ්බෝව අභය භූමිය ආශ්‍රිතව සිටින වල් අලි රංචු බීමට දිය පොදක් සොයා මේ දිනවල ගම්මාන වෙත ඇදෙමින් තිබේ. 

පානිය ජල ගැටළුවට විසදුම් සොයා එන මේ ඇත්තෝ ගොවියන්ගේ වගා බිම්වලටද කෙනිහිළිකම් කරනවා නිසැකය. ඒ හේතුව නිසාවෙන් මේ වන විට තබ්බෝව ගොවි ජනපදයේ පොල් අක්කර 50ට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වල් අලින්ගේ ග්‍රහණයට නතුව හමාරය. නියගය පුදුමාකාරය. උග්‍ර ජල හිගයෙන් හෙම්බත් වී විසදුම් සොයන ගොවියා කබලෙන් ලිපට වැටුනා සේ තවත් අසීරුතාවයට ලක්ව ඇත්තේ දිය සොයා ගම්මාන වෙත ඇදෙන වල් අලි රංචු තමන්ගේ භව භෝගද, මෙලෙස විනාශයට ලක් කිරීම නිසාවෙනි. 

එක් පසෙකින් නියගය පුත්තලම දිස්ත්‍රික්කය වේලා ගනිද්දි තවත් පසෙකින් වල් අලි රංචු පිටින් තම කුඹුරු අක්කර දහස් ගණනක් විනාශ කරමින් තිබීම ගොවියාට බරපතලතම ගැටළු සහගත තත්ත්වයක්ව තිබේ.

වැව් අමුණු සිදී වේලී ගොස් හමාරය සහරා කාන්තාරය බවට පත්ව ඇති වැව් බහුතරයක් ඉරිතැලී විසිරී පැතිරී ඇත්තේ සිතුම් කරන ලද සිත්තමක් විලසිනි. එය නිර්මාණත්මක දසුනක් ලෙස සමහරු දකිද්දි එයින් පීඩා විදින තවත් බහුතරයකගේ දුක් ගැනවිලි කරපින්නාගෙන වැහි වලාහක දෙවියන්ට යදින වාර ගණන අනන්ත අප්‍රමාණය. 

සමහරු වැසි ඉල්ලමින් දෙවියන්ට පුදු පූජා තුටු පඩුරු දොල පිදේනී ඇප කැප කර හමාරය. නමුත් නියගය තවමත් ඒ ආකාරවමය. 

ජනතාව පීඩාවෙන් පීඩාවට පත්ව සිටියද නිළධාරින් මර නින්දේ සිටීම පුදුමය දනවයි. නිළධාරින්ට පහසුකම් වල අඩුවක් නැත නමුත් ජනතාවට අපහසුකම් වලින් අඩුවක් නැති බව නිළධාරින් දැනගත යුතුව තිබේ. 

දරුණු නියගයෙන් බැටකන බොහෝ පිරිසකගේ කදුළු කතාව මෙසේ වචන වලට පෙරලෙන්නට විය. ඒ ජනතාවගේ අත්දැකීම් සම්භාරයක සවිස්තරාත්මක හෙළිදරව්ව අප මෙසේ හෙළි කරන්නෙමු. 

තේවනුවර පදිංචි ජී.ඩී.ප්‍රේමරත්න මහතා....

තේවනුවරට මේ දවස් හොදටම පායන නිසා දැඩි නියගයක් ඇති වෙලා තියෙනවා. මිනිස්සුන්ට වතුර ප්‍රශ්ණය තදින්ම බලපානවා. බොන්න වතුර ටිකක් නැහැ. නා කියා ගන්න විදියක් නැහැ. අපි පුදුමාකර දහ දුකක් විදින්නෙ අපේ දුක අහන්න බලන්න කිසිම බලධාරියෙක් මේ වෙනකම් ඉදිරි පත්වෙන්නෙ නැහැ. අපි කියන්නෙ වගකියන බළධාරියෙක් ඉදිරිපත් වෙලා අපිට බොන්න වතුර පොදක් හරි ලබා දෙනවනම් ඒක මහ ලොකු කියයලයි.

තේවනුවර පදිංචි එච්.පී.චන්ද්‍ර තිලකසිරි මහතා....

මේ දවස් වල බොන්න වතුර ටිකක් නැහැ. ප්‍රජා මූල සමිතියෙන් වතුර දෙනවා කිව්වාට මේ වෙනකම් අපිට නම් වතුර ටික වේලාවට කලට ලැබිලා නැහැ. අපි සල්ලි ගෙවනවා. ඒත් වතුර නැහැ. නියගය මේ සැරේ තදින්ම අපිට දැනිලා තියෙන්නෙ. සතෙකුට කන්න තනකොළ ගහක් නැහැ. වතුර පොදක් නැහැ. උගුරක් කටක් තෙමා ගන්න. පොදුම කරුමක් වෙලා තියෙන්නෙ. දැන් වහනවානම් දැන් කැමතියි. 

තේවනුවර පදිංචි බී.එම්.ජගත් මහතා....

අපිට මේ පවතින නියගය වෙනදා වගේ නෙවේ මහ විශාල විදියට බලපානවා. බොන්න වතුර ටිකක් නැතුව මිනිස්සු හැතැප්පම ගණන් පයින් බඩගානවා වතුර කලයක් ගේන්න. නා ගන්න තවත් දුර යනවා. පොදුම පෑවිල්ලක් තියෙන්නෙ. නියගය එන්න එන්නම දරුණු අතට හැරිලා තියෙන්නෙ. මේ නිසා අපිට ගොවිතැනක් බතක් කර ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නෙ. මේ ගැන කිසිම කෙනෙක් හොයලා බලන්නෙ නැහැ. 

තේවනුවර පදිංචි ඩී.එම්.සුභසිංහ මහතා....

අපිට උග්‍ර පානිය ජල ගැටළුවක් තියෙනවා. මේ ගැන කිසිම කෙනෙක් හොයලා බලන්නෙ නැහැ. කාගෙන් ඇහැවත් කියන්නෙ තේවනුවරට නියගයක් නැහැ කියලා මොකද මේ ගම විතරක් පුත්තලමට අයිති නැද්ද පුත්තලම පුරාම නියගය තියේදි අපිට විතරක් නියගය නැහැ කියනවා. අනේ අප්පේ මේ වෙද්දි අපිට හේනක් කොටාගෙන ගොවිතැනක් බතක් කර ගන්න විදියක්නැතුව හෙම්බත් වෙලා ඉන්නෙ. වතුර ප්‍රශ්ණෙ දැඩිවම බලපාලා තියෙන්නෙ. 

ප්‍රදීගාම පදිංචි ආර්.ඒ.නිර්මල කවිශ්ක ජයලාල් සිසුවා ....

අපිට ඉස්කෝලෙ යන්න විදියක් නැහැ. ඇදුමක් හෝද ගන්න විදියක් නැහැ. නාන්න විදියක් නැහැ. කුණු වැදුන ඇදුම් අදගෙන ඉස්කෝලෙ යන්න බැහැ අනෙක් ළමයි ලස්සනට එද්දි අපි විතරක් කුණු පෙරාගෙන යන්නෙ කොහොමද? අනේ මන්දා අපි කියන්නෙ අපිට මේ වතුර ගැටළුවට විසදුමක් ලබා දෙන්න කියලා.

තේවනුවර පදිංචි එම්.ගුණරත්න මැණිකෙ මහත්මිය....

මට ආබාධිත ළමයෙක් ඉන්නවා. උසස් පෙළ කරන දුවෙක් ඉන්නවා. අත දරුවෙක් ඉන්නවා මේයාලගෙ ඇදුම් පැලදුම් හෝදන්න ඕනෙ. ඒවාට විශාල වතුර ප්‍රමාණයක් යනවා. බොන්නවත් වතුර ටිකක් නැතුව ඉද්දි රෙදි හෝදන්නෙ කොහොමද? අපි සමහර වේලාවට වතුර ගෙන්න ගන්නෙ කුලියට ඈතකින් ඒත් හොද වතුර නෙවෙයි ලුණු වතුර නා ගන්න කොහොමවත් බැහැ වැව් සේරම හිදිලා ඉරි තැලිලා පැලිලා ගිහින්. පුදුම කරුමයක් මේ නියගය.

තේවනුවර පදිංචි ආර්.එම්.පොඩි මැණිකෙ මහත්මිය....

දැන් මාස දෙකක ඉදලා අපිට කොටින්ම බොන්න වතුර පොදක් නැහැ. වතුර ගන්න වෙලා තියෙන්නෙ. සල්ලි වලට ගමේ වතුර සමිතියක් තියාගෙනත් අපිට අද සිද්ධ වෙලා තියෙනවා. පිට අයට සල්ලි දීලා වතුර කෑන් එක ගෙන්න ගන්න. අනේ මේ ගැන හොයලා බලන්න කිසිම බළධාරියෙක් හොයලා බල්න්න ඉදිරි පත් වෙන්නෙ නැති එක ලොකු ගැටළුවක් වෙලා තියෙන්නෙ. අපි කියන්නෙ මැරෙන්න යන කොට හරි උගුර තෙමා ගන්න ඕනැ කරන වතුර පොදක් හරි අපිට ලබා දෙන්න කියලා.

තේවනුවර පදිංචි වයි.එම්. බිසෝ මැණිකෙ මහත්මිය....

අපි මේ දවස් වල අන්ත අසරණ වෙලා පුදුම දුකක් විදින්නෙ. නියගය අපිට තදින්ම බලපානවා. නා ගන්න රෙද්දක් හැට්ටයක් හෝදා ගන්න විදියක් නැහැ වැව් සේරම පිට්ටනි වෙලා තියෙන්නෙ අපි වතුර බූලියක් ගෙන්න ගන්නෙත් බොහොම අමාරුවෙන් අපේ ප්‍රශ්ණෙට විසදුමක් දෙන්න කිසිම බළධාරියෙක් ඉදිරිපත් වෙන්නෙ නැහැ.

තේවනුවර පදිංචි ඒ.එම්. මුතුබණ්ඩා මහතා....

අපිට දැන් වතුර කියන නම අහද්දිත් පුදුමාකාර සතුටක් තියෙන්නෙ මොකද ඒ තරමට අපිට වතුර ගැටළුව තියෙනවා. බොන්න වෙලා තියෙන්නෙ තනිකර බොර වතුර ඒ උනත් කමක්නැහැ. ඒ වතුර ටිකවත් කලට වේලාවට ලැබෙනවනම් ඒ ලැබෙන්නෙත් නැති එක ලොකු ගැටළුවක් වෙලා තියෙන්නෙ පායන අව් කාස්ටකේ පුදුම දහදුකක් අපි විදින්නෙ. 

තේවනුවර පදිංචි ආර්.එම්.නන්දාවති කුමාරි හාමි මහත්මිය....

අපිට වතුර අපහසුතාය දැඩි ලෙස බලපාලා තියෙනවා. අපිට කව්රු හෝ කමක් නැහැ පින්කැමති කෙනෙක් ඉන්නවානම් ජල බවුසරයක් ගෙනල්ලා හරි කමක් නෑ මේ ගමේ ජනතාව පත්වෙලා තියෙන අපහසුතාවයට විසදුමක් ලබා දෙන්න කියලා අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

තේවනුවර පදිංචි දිනේෂ් චමින්ද මහතා....

අපිට මේ දවස් වල නියගය තදින්ම බලපානවා. ගහක් කොළක් හදන්න විදියක් නැහැ. සතෙකුට බොන්න වතුර බිදක් නැහැ. වැව් සේරම හිදිලා ගමේ කොල්ලො ටික එකතු වෙලා වැව් ඇතුලෙ බෝල ගහනවා. මේ සැරේ නියගය එන්න එන්නම බරපතලයි. වැහි පොදක් පේන තෙක් මානයක නැහැ. 

තේවනුවර පදිංචි ඩබ්ලිව්.එම්. ගුණවති මහත්මිය....

අපිට දැන්නම් ජීවත්විල්ල තිත්ත වෙලා තියෙන්නෙ දැන් මැරෙනවනම් දැන් සතුටුයි. මොකද මනුස්සයට කිසිම දෙයක් නැතුව හිටයත් වතුර පොදක් නැතුව ඉන්න බැහැ අද ඒ තත්ත්වය අපිට උදාවෙලා තියෙන්නෙ. නාන්න තියා උගුරක් කටක් තෙමා ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ ඉතිං අපේ මේ වතුර ප්‍රශ්ණයට ඉක්මනින්ම විසදුමක් ලබා දෙන්න කියලා අපි බළධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

තේවනුවර පදිංචි ජී.ඒ.තුෂාර මහතා....

මේ වතුර ගැටළුව එන්න එන්නම දරුණු අතට හැරිලා තියෙන්නෙ. මේ ගැන ප්‍රාදේශිය ලේකම්ව දැණුවත් කෙරුවත් වැඩක් නැහැ එයා කියනවා එහෙම ගැටළුවක් අපිට නැහැ කියලා. මොකද එයා ගමට ඇවිල්ලා මෙව්වා බලන්නෙ නැති නිසා වෙන්න ඇති. නමුත් අපිට නම් මේ වතුර ප්‍රශ්ණෙ තදින්ම බලපානවා.

මයිලන්කුලම පදිංචි ඒ.ගුණතිලක මහතා....

නාන්න කරන්න කොටින්ම බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. මගෙ එළුවො වගයක් ඉන්නවා. ඒ සත්තුන්ටත් මේ දවස් වල බොන්න වතුර ටිකක් නැතුව සෑහෙන දුරක් පයින් යනවා උන්ට වතුර දෙන්න. ගමේ හැම තැනම කතා බහ කරන්නෙ වෙන මුකුත් නෙමේ මේ ජල ගැටළුව ගැන මේ ගැන සොයා බලන්න කිසිම කෙනෙක් නැහැ. මේක අපිට වගේම වන සත්තුන්ටත් තදින්ම බලපාලා තියෙන්නෙ.

තේවනුවර පදිංචි එස්.ඒ. නිලංග මහතා....

නියගය එන්න එන්නම දරුණු අතට හැරිලා තියෙන්නෙ. ඒ නිසා කැලෑවල ඉන්න අලින්ට බොන්න වතුර නැති වුණාම උන් කෙලින්ම එන්නෙ අපේ ඉඩම් වලට ඒ ඇවිල්ලා එක රෑකට ඉඩම් වල තියෙන සියලුම බෝග විනාශ කරනවා. ඉතිං ඒකට හේතුව වෙලා තියෙන්නෙ මේ වල් අලිංට කැලෑ වල මේ දවස් වල කන්න කිසිම දෙයක් නැහැ. බොන්න වතුර පොදක් නැති ඒකට අපේ ඉඩම්පලි නැහැ මොකද අපිටත් වතුර නැතිව ඉද්දි මේ විදියට පොල් ගහක් කඩනවා කියන්නෙ මොනතරම් අපරාධයක්ද? මේ ගැන ප්‍රාදේශිය ලේකම් වන ජීවි එක හොයලා බලන්න ඕනෑ දේවල්.

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කල විමසුකදී කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් ජනක තුෂාර බාලසූරිය මහතා පවසා සිටියේ මෙවැන්නකි.

දැන් නියගය යම් මට්ටමක පවතිනවා. උග්‍ර වෙලා නැහැ. ඒ නිසා නියගය පවතින ග්‍රාම නිළධාරි වසම් කිහිපයක පානිය ජලය බෙදා හැරීමක් සිදු කරමින් පවතිනවා. දැනට වැඩිපුරම නියගය බලපාලා තිබෙන වසම් විදියට සදහන් කලොත් රඹාවැව, නෙලිගම, මුරුක්කුඅටවන, කරුවලගස්වැව මෙන්න මේ කියන වසම් වලට ප්‍රමුකත්වය දීලා වතුර බෙදා හැරීම සිදු කරනවා. අනෙකුත් වසම් වලත් නියගය එන්න එන්නම උග්‍ර අතට පත් වෙනවා නම් අපි කඩිනමින් ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කරනවා. නියගට සමගාමිව ගත්තොත් කුඩා වැව් නම් බොහොමයක් සිදීම ආරම්භ වෙලා තියෙනවා. තවමත් තබ්බෝව වගේ විශාල වැව් වල ජල මට්ටම යම් මට්ටමක පවතිනවා. මේ නියගය නිසා කිසිම බෝගයකට මේ වෙනකම් හානියක් වෙලා කියලා අපිට වාර්තා වෙලා නැහැ. නියගයෙන් පීඩා විදින පිරිස ගත්තොත් ලොකු පිරිසක් වාර්තාවෙලත් නැහැ තවම යනුවෙනි.

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කල විමසුකදී වනාතවිල්ලුව සහකාර ප්‍රාදේශිය ලේකම් නන්දන සෝමතිලක මහතා පවසා සිටියේ මෙවැන්නකි.

අපේ ග්‍රාම නිළධාරි වසම් 17ක් පිහිටලා තියෙනවා. ඒ වසම් 17ටම වගේ මේ වෙද්දි නියගය බලපාලා තියෙන්නේ. මේ වෙද්දි අපිට උග්‍ර ජල ප්‍රශ්ණයක් වාර්තාවෙලා තියෙන්නෙ. බණ්ඩාරනායකපුර ග්‍රාම නිළධාරි වසමෙන් අපි මේ වෙද්දි ජලය බෙදා දීමේ වැඩසටහන් ග්‍රාම නිළධාරි වාර්තා අනුව සිදු කරමින් පවතිනවා. මේ ප්‍රදේශයේ බහුතරයක් විල්ලු පිහිටා තිබෙන්නෙ. ඒ නිසා විල්ලු වල ජල මට්ටම පහත බැසීමක් සිදු වෙලා තියෙනවා. වගා හානි කිසිවක් වාර්තා වෙලා නැහැ.

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කල විමසුකදී පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්නද මහතා පවසා සිටියේ මෙවැන්නකි.

නියගය අපේ කොට්ඨාශ කිහිපයකට තදින්ම බලපාලා තිබෙනවා. කරුවලගස්වැව, වනාතවිල්ලුව, පල්ලම, ආණමඩුව වශයෙන් ඒ කොට්ඨාශවලට අවශ්‍ය පානිය ජලය කඩිනමින් බෙදා දීමේ වැඩපිලිවෙලක් අපි ආරම්භ කරලා තියෙන්නෙ. ග්‍රාම සේවක වසම් අනුව ප්‍රමුකත්වයක් දීලා. විශාල පවුල් සංඛ්‍යාවක් වාර්තා වෙලා නැහැ ඒකට හේතුව වසම් මට්ටමෙන් ප්‍රජා ජලයෝජනා ක්‍රමයක් ආරම්භ කරලා තිබෙන නිසා. සෑම කෙනෙකුගේම පානිය ජල අවශ්‍යතාවයට අපි අවශ්‍ය පියවර මේ වෙද්දි සිදු කරමින් පවතින්නේ යනුවෙනි.

සටහන සේයා රූවනාතවිල්ලු කේ. ප්‍රියංකර














































 



















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 2227643327314554318

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item