FCID විමල්ගෙන් පැය 30ක් ප්‍රශ්ණ කරලා!

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොලිස් පරීක්ෂණවලට සහාය දීම හිතාමතාම ප්‍රමාද කරන්නේ යයි පොලිස් මුල්‍ය අ...

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොලිස් පරීක්ෂණවලට සහාය දීම හිතාමතාම ප්‍රමාද කරන්නේ යයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් එල්ල කර ඇති චෝදනාව සම්බන්ධව එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

මේ එකී නිවේදනයයි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ජාතික නිදහස් පෙරමුණේ නායකයින් සහ හිතවතුන් පස් දෙනෙකුට එරෙහිව මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ බී වාර්තා සහ වැඩිදුර වාර්තා ගොනු කරමින් නඩු පවරා ඇති අතර ඉන් තිදෙනෙකුට ඇප ලැබී තවත් දෙදෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇත. මෙම නඩුවට අදාළව ම අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා වෙතින් ද මේ වන විට දින හතරක් තුළ පැය තිහකට ආසන්න කාලයක් පුරා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පක්ෂයේ ලේකම්වරයා ඇතුළු තවත් 50 දෙනෙකුගෙන් පමණ ද වරින්වර මෙලෙස ප්‍රකාශ සටහන්කර ගෙන ඇත.

පසුගිය මාසය පුරා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට අදාළව අතිශය කාර්යබහුලවීම පවා නොතකා මෙකී පරීක්ෂණයට සහාය දීම පිණිස ඉල් පසළොස්වක පෝය දින පවා විමල් වීරවංශ සහෝදරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශ ලබාදුන් බවද සඳහන් කරනු කැමැත්තෙමු. යම් හෙයකින් පාර්ලිමේන්තුවේ හෝ වෙනත් අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් කලින් යොදාගත් දිනයක් වෙනස් කිරීමට සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් තම නීතිඥවරයා මගින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නිසි ලෙස දන්වා එකී දින වෙනස් කිරීම් නිසි ලෙස සිදු කරන ලද බවද අවධාරණයකර සිටිමු.

අවසාන වරට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමල් වීරවංශ සහෝදරයා වෙත එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට වන දැන්වීම අප පක්ෂයේ ප්‍රධාන කාර්යාලය වෙත භාරදෙන අවස්ථාවේදී විමල් වීරවංශ සහෝදරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන්, පාර්ලිමේන්තුව නිල වශයෙන් නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග චීන රජයේ නිල සංචාරයක යෙදී සිටි බවත් තවමත් ඔහු එම සංචාරයේ යෙදී සිටින බවත් අප විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට දන්වා තිබිණි. එසේ තිබියදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා පොලිස් පරීක්ෂණවලට සහාය දීම හිතාමතාම ප්‍රමාද කරන බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ(16) ගරු අධිකරණයට කරුණු දක්වා සිටියේය. එහිදී එකී චෝදනාව සම්බන්ධයෙන් අප පක්ෂය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් ද ගරු අධිකරණයට ඉහත සදහන් කරුණු දැක්වීය.

ඒ අනුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පොලිස් පරීක්ෂණවලට සහාය දීම හිතාමතාම ප්‍රමාද කරන බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද චෝදනාව සහ ඒ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල පළවන පක්‍ෂග්‍රාහී වාර්තාකිරීම් පදනම් විරහිත බවද අවධාරණය කරන්නෙමු. එසේම මෙතෙක් අදාළ පරීක්ෂණවලට සහාය දුන් ආකාරයෙන්ම සහ වැඩිමනත් වශයෙන් ගරු අධිකරණයේ යොමුකිරීමට ද ගරු කරමින් අදාළ පරීක්ෂණ සදහා විමල් වීරවංශ සහෝදරයාගේ සහාය නොඅඩුව ලබාදෙනු ඇති බවද මේ ආකාරයේ චෝදනා ප්‍රචලිත කිරීම මගින් දේශපාලන වශයෙන් ඔහු දඩයම් කිරීම සදහා කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවට සැක මතුව ඇති බවද සදහන්කර සිටිමු.

කෙසේ වෙතත් දේශපාලන වශයෙන් අප පක්ෂයේ නායකයින් දඩයම්කර, බියගන්වා සහ පළිගනිමින් නිහඩ කිරීමටත් ඒ නිහඩ කිරීම මත රට බෙදන නව ව්‍යවස්ථාව ගෙන ඒමටත් ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීමට විමල් වීරවංශ සහෝදරයා මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ අවසන් සාමාජිකයා දක්වා ඕනෑම දුෂ්කරතාවක් හමුවේ කටයුතු කරනු ඇති බවද අවධාරණයකර සිටිමු.

දේශපාලන මණ්ඩලය
ජාතික නිදහස් පෙරමුණ
2016.12.17



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8113482972528189685

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item