රතුපස්වල දී බලය අයුතු ලෙස යොදවලා - මානව හිමිකම් කොමිසම

රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිතවූ බව කියමින් කම්හල වසා දමන ලෙස හා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවැති ...

රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිතවූ බව කියමින් කම්හල වසා දමන ලෙස හා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට වෙඩි තැබීම් හා පහර දීම සිදු කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බවත්, එහි දී යුද හමුදාව බලය අයුතු ලෙස යොදවා ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේ දී හෙලි වී ඇත.

2013 අගෝස්තු පළමු වැනි දා යුද හමුදාවේ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය බවත්, 37 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් මානව හිමිකම් වාර්තාවේ සඳහන් ය.

මෙම උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට පොලිසිය සිටිය ද යුද්ධ හමුදාව කැඳෙව්වේ කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වූ බව කියන මානව හිමිකම් කොමිසම ඒ ගැන අදාළ පාර්ශ්ව දුන් සාක්කි පරස්පර බව ද කියයි.

උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා කැරලි මර්දන සහාය ලබා ගෙන ඇත්තේ හමුදාව වෙඩි තැබීම ආරම්භ කිරීමෙන් පසුව බව ද මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ සාක්කිවලින් සනාථ වී තිබේ.

උද්ඝෝෂකයක් දෙසි වෙඩි හඬ ඇසුණු බවට හමුදාව හා පොලිසිය ප්‍රකාශ කළ ද ඉතිරිපත් සාක්කි අනුව මානව හිමිකම් කොමිසම නිගමනය කර ඇත්තේ උද්ඝෝෂකයන් ගිනි අවි භාවිත කර නැති බවයි.

ආරක්ෂාව පතා කතෝලික දේවස්ථානය තුළට දිව ගිය පිරිසට ද හමුදාව පහර දී ඇති බව ප්‍රකාශවලින් හා ඡායාරූපවලින් පැහැදිලි වන බව මානව හිමිකම් වාර්තාවේ සඳහන්ය.

දීර්ඝ විමර්ශනයකින් පසු මානව හිමිකම් නිර්දේශ ඉදිරිපත් කරමින් කියනුයේ වැලිවේරිය සහ බැලුම්මහර උද්ඝෝෂණ විසිරුවා හැරීමට සහභාගී වූ යුද හමුදා අණදෙන නිලධාරීන් හා ප්‍රධාන නිලධාරීන්ට එරෙහිව යුද හමුදා විනය අනුව කටයුතු කළ යුතු බවයි.

වෙඩි තබා ඇති නිලධාරීන්ට එරෙහිව උපරිම ලෙස හමුදා විනය අනුව හා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගත යුතු බව ද කොමිසමේ නිර්දේශ අතර සඳහන්ය.

වෙඩි වැදී මිය ගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතීන්ට වන්දි ලබා දීම, වෙඩි වැදීමෙන් හා පහරදීමෙන් තුවාල ලබා ඇති අයට සාධාරණ වන්දි මුදලක් ගෙවීමට කටයුතු කිරීම, මාධ්‍යවේදීන්ට පහර දීම හා උපකරණවලට අලාභහානී කිරීම සම්බන්ධයෙන් වන්දි මුදල් ගෙවීමට ද කොමිසම රජයට නිර්දේශ කර ඇත.

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව පොලිසියේ හා හමුදාවේ වගකීමක් ඇති බැවින් ඉදිරියේ දී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට නිලධාරීන් දැනුම්වත් කර අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට පොලිස්පති හා යුද හමුපතිට දැන්විය යුතු බව ද කොමිසම නිර්දේශ කර තිබේ.

මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ආර් පී පෙරේරා, කොමසාරිස්වරුන් වන ටී ඊ ආනන්ද රාජා, ජසීමා ස්මයිල්, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා සහ වෛද්‍ය බර්නාඩ් ද සොයිසා මහත්වරුන් අත්සන් තැබූ මානව හිමිකම් වාර්තාවේ පිටපත් ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, නීතිපති, හමුදාපති සහ පොලිස්පතිට ද යවා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 149104385053621734

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item