ශිලා ලේඛනගත ලොව පැරණිතම සාම ගිවිසුම ශ්‍රී ලංකාවෙන්
වර්තමානයේ ලෝකයේ නිතර අසන්නට ලැබෙන වචනයක් ලෙස “සාම ගිවිසුම ” ගත හැකිය. සාම ගිවිසුම් යොදාගනු ලබන්නේ යුද්ධයක් වැලකවීමටත් ඉන් සිදුවන හානිය අවම ...
https://www.sathhanda.com/2015/08/blog-post_30.html
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අප රටේ අතීතය විමසා බැලීමේදී අතීතයේ සිදුවූ යුද්ධ පිළිබද තොරතුරු සොයාගත හැකිය. විවිධ සතුරු ආක්‍රමණ, බලය බෙදා ගැනීම යනාදීන් සදහා යුධ වැදීම් සිදුවිය. දැනට සොයාගෙන ඇති පැරණිතම සාම ගිවිසුම පිහිටුවා ඇත්තේ බලය බෙදා ගැනීම සඳහා ඇතිවන්නට ගිය යුද්ධයක් වලක්වා සාමය ඇති කරවීමට යි. මෙම ගිවිසුම සිදුව තිබෙන්නේ පළමුවන මහා පරාක්‍රමබාහු රජු ( ක්‍රි. ව. 1153 - 1186) දක්ෂිණ දේශයේ පාලකයා වශයෙන් සිටි කාලයේ පොළොන්නරුවේ රාජ්‍ය කළ ගජබාහු රජුත්(ක්‍රි. ව. 1132-1153) අතර ය.
මහාවංශයේ කියවෙන පරිදි දක්ෂිණ දේශයේ බලය තහවුරු කරගත් මහා පරාක්‍රමබාහු රජතුමා මුළු ලක්දිවම එක්සේසත් කරනු පිණිස එවකට පොළොන්නරුවේ රාජ්‍ය කරමින් සිටි තම ඥාති සොහොයුරා වූ ගජබා රජු සමඟ යුධ වැදුනි. මෙම අවස්ථාවේ ඇතිවන විනාශය සැලකිල්ලට ගත් භික්‍ෂුන් වහන්සේ මෙම යුද්ධය වලක්වා සමථයකට පත් කළහ. ගජබා රජු සහ පරාක්‍රමබාහු රජු අතර නොබිඳෙන ගිවිසුමක් ඇති කෙරිණි. එම ගිවිසුමේ සිංහල අනුවාදය මෙසේය.
“ යහපතක්ම වේවා ! මහා සම්මත පරම්පරාවෙන් නොසිඳී පැමිණි, සත්‍යම ධනය කොට ගත ගජබාහු සහ පරාක්‍රමබාහු නම් දෙමස්සිනාවරු වම්හ. අප විසින් ඇති කරගත් මෙම සම්මුතිය අනුව ජීවිතාන්තය දක්වා සටන් නොකරමු. එක අයෙකුගේ මරණින් පසු රාජ්‍යය අනෙක් අයට අයත් වේ. මේ රාජ්‍යය වැනසෙන අයුරින් අප දෙදෙනාගෙන් එක් කෙනෙකුට සතුරු වූ රජදරු කෙනෙක් ඇත්නම් ඔවුහු අප දෙදෙනාටම සතුරු වෙත්. මෙම සම්මුතියට විරුද්ධ වූ යමක් අප කළොත් තුණුරුවන්ගේ අණ නොතකා ක්‍රියා කළෝ වෙමු. අපයෙන්ද නොමිදුනෝ වෙමු. සඳ හිරු පවත්නා තාක් මෙම සම්මුතිය සහිත ලේඛනය ආරක්ෂා වේවා. අනුන්ගේ යහපතම ධනය කොට ඇති අප දෙදෙනාගේ මෙම අවිරුද්ධතාවය ස්නේහයෙන් තෙත් වේවා. ”
සාම සම්මුතියට අනුව ගජබා රජුගෙන් පසු පරාක්‍රමබාහු රජු බලයට පත්විය. මෙම සෙල් ලිපියේ සඳහන් කරුණු විමසා බැලීමේදී අපට එක් දෙයක් පැහැදිලි වේ. එනම් මෙම ගිවිසුම ඇතිකළ අය ඉතා ඉහළ රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් තිබූ අයවලුන් බවත් භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගත් බවත් කිසි ලෙසකින් ගිවිසුමේ සඳහන් දැ කඩ නොකළ බවත්ය.
මෙම වටිනා සෙල් ලිපිය ඇත්තේ කුරුණෑගල සංගමුව රජ මහා විහාරයේය. මෙම සෙල් ලිපිය පිලිබඳ පැවතෙන ජනප්‍රවාදයක් ද ඇත. එනම් මෙම සෙල් ලිපියට හානි කරන කිසියම්ම හෝ කෙනෙකු මතු ආත්මයේ බල්ලන් කපුටන් වී ඉපදෙන බව සෙල් ලිපියේ සඳහන් බවයි. නිධන් සොරුන්ගේ ග්‍රහණයට පත් මේ විහාරයේ ඉතිරිව තිබෙන්නේ ද මෙම වටිනා පූජනීය සෙල් ලිපියත් ගල්කණු කිහිපයකුත් පමණි. මෙවන් වූ වටිනාකමක් ඇති පුරාවිද්‍යාත්මක දෑ මතු පරපුරට දැකගැනීම පිණිස රැකගැනීම අපේ යුතුකමකි.


Related