‘කුඩු රජා’ අහමඩ් නජිමුදීන් හා රවීගේ යහපාලන රේගුව
සැබෑ කුඩු ජාවාරම්කරුවන් ගෙන් රට ආරක්ෂා කර ගනිමු. ශ්‍රී ලංකාව පසුගිය කාලයේ අන්තර්ජාතික හෙරොයින් ජාවාරම්කාරයන් ගේ තිප්පොළක් බවට ක්‍රමයෙන් ප...

https://www.sathhanda.com/2015/08/ravi-karunanayaka-drug-dealing-conspiracy.html
ශ්‍රී ලංකාව පසුගිය කාලයේ අන්තර්ජාතික හෙරොයින් ජාවාරම්කාරයන් ගේ තිප්පොළක් බවට ක්‍රමයෙන් පත්වෙමින් තිබිණි. එහෙත් අප රට එවැනි ජාවාරම්වල කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝක ආරක්ෂණ නියාමන අංශ විසින් නම් කරන ලද රටක් නො වුණේ, එය අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට අයත් ව නො තිබුණු නිසා ය. මේ පිළිබඳ සාක්ෂි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සතු ය. වසර 30ක් තිස්සේ පැවතුණු යුද්ධයට සම්බන්ධ ව කොටි සංවිධානය මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ ද, එය අවසන් කිරීමෙන් පසු ගොඩ නැගුණු ශ්‍රී ලංකාවේ යහපත් ප්‍රතිරූපය අවභාවිතයට ගනිමින් අන්තර්ජාතික හෙරොයින් ජාවාරම්කාරයෝ ස්වකීය නීතිවිරෝධී කටයුතු ඉතා සාර්ථකව ක්‍රියාත්මක කළ හ. ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් ආදායම් ලබමින් මෙරටින් පිටරටවලට මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කෙරුණේ ඒ අනුව ය. එහෙත් යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවලට මේ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කරන්නට අවස්ථාව ලැබිණි. එතෙක් මෙරට ආරක්ෂක අංශවලට වැලි ගසමින් සිටි ‘වෙලේසුදා’ ප්‍රමුඛ කුඩු ජාවාරම් ජාලය පිළිබඳ තොරතුරු විමර්ශනය කෙරුණේ ඒ ආකාරයෙනි.
කුප්‍රකට අහමඩ් නජිමුදීන් ගේ හෙරොයින් ජාවාරම තවත් එවැනි සුවිශේෂ හෙළිදරව්වකි. අහමඩ් යනු ‘වෙලේසුදා’ සම්බන්ධ මෙකී හෙරොයින් ජාවාරමට සම්බන්ධ ‘කුඩු රජා’ ය.අහමඩ් මෙරට පෙනී සිට ඇත්තේ ප්‍රභූ ව්‍යාපාරිකයකු වෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් ගේ සම්බන්ධතා ජාලයන්ට ද ඉතා සූක්ෂ්ම ලෙස ඔහු රිංගා ගෙන තිබේ.ඊට අමතර ව කලා ලෝකයේ ජනප්‍රිය චරිත සමග ද අහමඩ් ඉතා කිට්ටු ඇසුරක් පවත්වා තිබෙන අතර, චිත්‍රපටි නිෂ්පාදනයට ද දායක වී තිබේ. එසේම ප්‍රකට නිළියන් සමග ලිංගික සම්බන්ධතා පවත්වමින් අහමඩ්, සුපිරි ජීවිතයක් ගත කර ඇත. කලාවට මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ විවාහක මෙන්ම අවිවාහක රූපරැජිනියෝ ද, අහමඩ් ගේ මුදල් වසඟයට හසු වූහ. ඔහු ගේ හෙරොයින් ජාවාරමේ මූලස්ථානය ඇත්තේ මැලේසියාවේ ය.
මෙහි තිබෙන සැබෑ අනතුර නම්, මේ වන විට ‘වෙලේසුදාට’ වර්තමාන දේශපාලන රැකවරණයක් ලැබී තිබීම ය. ඒ අනුව දැනට වසර දෙකක පමණ කාලයක සිට මෙරට ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද පරීක්ෂණවල සියලු වාර්තා අපතේ යමින් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ‘වෙලේසුදා’ සම්බන්ධ වූ කුඩු ජාවාරමට අදාළ නඩුවේ ‘නඩුපොත’ අතුරුදන් වී තිබෙන්නේ මේ දේශපාලන බලපෑම නිසා ය.
අහමඩ් නජිමුදීන්ට සහ වෙලේසුදාට සම්බන්ධ දේශපාලන චරිත මේ වන විට ඔවුන් බේරා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් සිටිති. හුදෙක් සංදර්ශනවාදී මත්ද්‍රව්‍ය මර්දනයක් ක්‍රියාත්මක වී තිබෙන මෙකල, අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලයට ද දේශපාලන හෙංචයියකු පත් කර තිබීම පිළිබඳ ව ද, ආරක්ෂක අංශ නොසතුට පළ කරති. ඔහු, පාක්ෂික ව තම වෘත්තීය කටයුතු පාවා දෙන්නකු ලෙසින් ද ප්‍රකට වී සිටී.
ශ්‍රී ලංකා රේගුවේ කීර්තිමත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු ලෙස ප්‍රකට ව සිටි ජගත් පී. විජේවීර එළවා දැමීම ද මෙකී මත්ද්‍රව්‍ය ජාවාරම් කුමන්ත්‍රණයේ ම එක් කොටසක් ලෙස හඳුනා ගෙන තිබේ.ශ්‍රී ලංකා නාවුක හමුදාවේ බුද්ධි අංශ අකර්මන්‍ය කිරීම ද පසුගිය කාලයේ සිදුවුණු තවත් රාජ්‍ය විරෝධී ක්‍රියාවකි.මේ අනුව දැන් ඉන්දියාව ඔස්සේ පැමිණෙන නව අඩු මිල හෙරොයින් ජාවාරම් ජාලයක් අලුතෙන් නිර්මාණය කෙරෙමින් තිබේ.මේ අනුව, අප රටේ තරුණ පරපුර ගිලගනිමින් සිටින, සැබෑ හෙරොයින් ජාවාරම්කරුවන් කවුරුන්ද යන්න සබුද්ධික ව හඳුනා ගැනීම රටේ ජනතාව ගේ වගකීම ය.
ඔවුන්ට එරෙහිව තීරණ ගැනීම අද දවසේ දේශපාලනයයි.
ආචාර්ය සුධීර වත්තේවැව
Related