මැතිවරණ අස්සේ එජාපය හොරෙන්ම ජලය විකිණීමේ පනත ගෙන එයි
මෙරට ගංගා ද්‍රෝණි සහ ජලාශ කළමනාකරණය කිරීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීම සඳහා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, එම පනත හරහා...
https://www.sathhanda.com/2015/08/water-cabinet-paper.html
මෙරට ගංගා ද්‍රෝණි සහ ජලාශ කළමනාකරණය කිරීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීම සඳහා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, එම පනත හරහා මෙරට ජලයට මිලක් නියම කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවත් වාර්තා වේ.
නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවත්, මහ මැතිවරණයෙන් පසුව මෙම අධිකාරිය සමග මේ සම්බන්ධව ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමටද යෝජනා වී ඇත.
ගංගා ද්‍රෝණි කළමනාකරණ අධිකාරියක් පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍ය රාවුෆ් හකීම් මහතා කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සංදේශයක් නිකුත් කර තිබුණේ ඉකුත් මාර්තු 28 වැනිදාය. මෙම අධිකාරිය සමඟ ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමටද යෝජනා කර තිබිණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඉකුත් අප්‍රේල් 25 වැනිදා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරමින් ඒ සම්බන්ධව අධ්‍යයනය කරමින් වාර්තාවක් සපයන ලෙස ඉල්ලා තිබේ.
නමුත් එසේ තිබියදී නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය මෙම අධිකාරිය පිහිටුවීම සම්බන්ධයෙන් කමිටුවක් පවා පත්කරමින් ක්‍රියාත්මක වෙමින් සිටින බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් සංදේශයට අනුව ගංගා ද්‍රෝණි කළමනාකරණ අධිකාරිය පිහිටුවීම කර ඇති යෝජනාවේ ජල සම්පත් සම්බන්ධ සියලු බලතල එම අධිකාරියට පැවරෙන අතර දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන සතුව ජලය පිළිබඳ තීරණ ගැනීමේ දැනට තිබෙන බලය මෙම අධිකාරියට පැවරේ. ඒ අනුව ජලය ලබා ගැනීමට ළිඳක් කැණීමේදී පවා මෙම අධිකාරියෙන් අවසර ලබා ගැනීමට සිදුවනු ඇත.
මෙයට අමතරව මෙම අධිකාරිය රජය, රාජ්‍ය නොවන සංවිධාන හා අනෙකුත් ප්‍රතිලාභීන් සමග එකතුවී අවශ්‍ය තීරණ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ගංගා ද්‍රෝණි අධිකාරිය ජලයෙන් ආදායම් එකතු කිරීමේ උපක්‍රම හා යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය. එම යාන්ත්‍රණය අනුව මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියට අනෙකුත් ආයතනයන්ද බැදී සිටී.
මෙම තත්ත්වය මත රජය සතු තීරණ ගැනීමේ අයිතිය පවා රාජ්‍ය නොවන සංවිධානවලට හා පෞද්ගලික අංශවලට පැවරෙනු ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.
2001 වසරේ ඉදිරිපත්වී මහත් ආන්දෝලනයට ලක්වූ ජල පනතේම සඳහන් ප්‍රතිපත්ති වෙනත් ස්වරූපයකින් මෙම නව අධිකාරිය පිහිටුවීමේ කැබිනට් සංදේශය ලෙස හොර රහසේ සකස් කර ඇතැයි විවිධ වෘත්තිකයන් මේ වනවිට චෝදනා කර තිබේ.
අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඉදිරිපත් කර තිබෙන අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ දිය බෙත්මය කළමනාකරණය සහ ජල පෝෂක ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර මෙන් මෙම පියවර ගෙන ඇති බවද සඳහන් කර ඇත.
ඒ අනුව ගංගා ද්‍රෝණි ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම, කළමනාකරණය කිරීමේ වගකීම, පාංශු ඛාදනය වැළැක්වීම, ස්වභාවික තුරුලතා ප්‍රතිජනනය, ජල මූලාශ්‍ර දූෂණය වීම සම්බන්ධ නීතිය බලාත්මක කිරීම ආදි කරුණුද අයත්ය. ඉහළ මට්ටමේ සම්බන්ධීකරණයක් වෙනුවෙන් හා සම්පත් ප්‍රතිපාදනයට ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කෙරෙන බවද එහි සඳහන්ය.
පරිසර සංවිධාන චෝදනා කරන්නේ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත්තේ අධිකාරිය මගින් සිදුවන අනෙකුත් අකටයුතුකම් ආවරණය කර ගැනීමට බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට රිවිර ඊයේ (04) දින කිහිප වතාවක්ම අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තද ඉන් ප්‍රතිචාර නොලැබිණි.
මේ පිළිබඳව රිවිර නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ ගංඟා ද්‍රෝණි ජල ආරක්ෂණ කොමිසමක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට යොමුකරන බවයි.
එසේම මෙම කොමිසම ඔස්සේ ජලාශවල ජලය භාවිත කරන විදුලිබල මණ්ඩලය, සංචාරක හෝටල් වැනි ආයතනවලින් ඔවුන් භාවිත කරන ජල මට්ටම පදනම් කර ගනිමින් යම්කිසි අයකිරීමක් කිරීමට සැලසුම් කර ඇතැයිද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
මෙලෙස අයකරනු ලබන මුදල් ගංගා සහ ජලාශ සංවර්ධන කටයුතුවලට යෙදවීමටත්, එමගින් මෙරට ජනතාවට ගුණාත්මක මට්ටමින් ජලය පරිභෝජනයට ඉඩ සැලැස්වීමත්, මෙහි අරමුණ බවද හෙතෙම පැවසීය.
මෙම කොමිසම ඔස්සේ කිසිදු අයුරකින් සාමාන්‍ය ජනතාවගෙන් ගොවීන්ගෙන් මුදල් අය කිරීමක් නොවන බවත් ජනතාවට වඩා ගුණාත්මක සේවාවන් මෙමගින් සැපයෙන බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
නුවන් සේනාරත්න


Related