තවත් විමලසුරේන්ද්‍රවරුන් බිහිකිරීමට කැපවිය යුතුයි - අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

"මම හිතනවා ආයතනයක ප්‍රගතියට බලපාන ප්‍රධානතම සාධකය තමයි තෘප්තිමත්වූ සේවකයන්. තෘප්තිමත් සේවක පිරිසක් තුළින් තමයි ආයතනයක් ඉදිරියට යන්නේ...


"මම හිතනවා ආයතනයක ප්‍රගතියට බලපාන ප්‍රධානතම සාධකය තමයි තෘප්තිමත්වූ සේවකයන්. තෘප්තිමත් සේවක පිරිසක් තුළින් තමයි ආයතනයක් ඉදිරියට යන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සියළු දෙනාම සහෝදරයන්මෙන් සලකා, සුහදව මේ ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යන්න. අපේ ලොකුම සම්පත තමයි මේ ආයතනයේ සිටින අති දක්ෂ මානව සම්පත. ඒ වගේම මේ අති දක්ෂ මානව සම්පත මැද්දේ තවත් විමලසුරේන්ද්‍රලා ඇති. අපි ආරාධනා කරන්නේ ඔවුන්ට. අපි ඒ සම්පත් හඳුනාගෙන ඉදිරියට ගතයුතුයි. ඒ තුළින් ආයතනයේ ප්‍රගතිය ඇතිකළ යුතුයි" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ අද (17) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ පැවති විමලසුරේන්ද්‍ර මහතාගේ ගුණ සැමරුම් උළෙලට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට සමගාමීව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සිය ධූරයන්හි වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රථම නිරීක්ෂණ චාරිකාවටද සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අ අමාත්‍යවරයා,

"ඔබතුමන්ලා කළගුණ සිහිකරන මිනිසුන් බවට පත්වීම ඉතාම වැදගත්. පාඨලී චම්පික රණවක මැතිතුමාට ඒ පිළිබඳව ස්තුතිවන්ත වියයුතුයි. එතුමා තමයි මේ සංකල්පය ඇතිකරලා තියෙන්නේ. ඒ තුළින් ආර්ථික ප්‍රථිලාභයක් නැහැ. නමුත් කළගුණ සිහිපත් කරන ගුණාංගය මිනිසුන් තුළ තිබිය යුතු ලක්ෂණයක්. සාමාන්‍යයෙන් මිනිසුන් යම්කිසි ප්‍රථිලාභයක් නොලැබෙනවා නම්, ගුණ සිහිපත් කරන්නේ නැහැ. සමාජය එහෙමයි. ජනවාරි 08 වෙනකොට මම විදුලි සංදේශ ඇමති. 09 දා වෙද්දි පාර්ලිමේන්තු මන්ත්‍රී. දැන් කැබිනට් ඇමති. මේ එක් එක් කාලවලදි ලැබෙන ප්‍රථිලාභත් එක්ක සමාජයේ තිබෙන විවිධ ඇවතුම් පැවතුම් දිහා බලද්දි මේ කළගුණ සැලකීම ඉතාම වැදගත්. විමලසුරේන්ද්‍ර මැතිතුමා 1918 දී ජලවිදුලි උත්පාදනය පිළිබඳව වාර්තාව ඉංජිනේරු සංගමයට ඉදිරිපත් කරලා තිබෙනවා. 1950 වෙද්දි ලක්ෂපාන විදුලි බලාගාරයේ වැඩ ආරම්භ වුණා. එතුමා රටට නිර්මාණශීලී නායකත්වයක් දුන් කෙනෙක්. ඒ වගේ චරිතයක් සිහිපත් කිරීම ඉතාම වැදගත් කර්තව්‍යයක්. 

ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අපි පිළිබඳ විශාල විශ්වාසයක් තියලා තියෙන්නේ. ඒ නිසයි මේ වගේ සංකීර්ණ අමාත්‍යාංශයක් බාරදීලා තියෙන්නේ. මේ ක්ෂේත්‍රය මට අළුත් ක්ෂේත්‍රයක්. රටට වැඩිම සංවේදී යටිතල පහසුකම වන විදුලිය ජනතාවට ලබාදෙන්න කැපවී සේවය කරන සේවක පිරිසක් ඇමතීමට ලැබීම ඉතාම ආඩම්බරයක්. ඒ වගේම වාසනාවක්. විදුලිය සැපයීම ගුණාත්මකව සහ අඛණ්ඩව සැපයීම ඉදිරියට ගෙනයාමට විශේෂ වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. සමාජය නිතරම දැඩි කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙනවා විදුලිබල මණ්ඩලයෙන්. ඒ අභියෝගයට අපි මුහුණ දිය යුතුයි. ඒ වගේම පිරිවැය අවම කරගැනීමටත් අපි සැලසුම් කළ යුතුයි. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය මෙන්ම ඒකායන අධිෂ්ඨානය අවශ්‍ය වනවා මේ දේවල් ඉටු කරගන්න.

අපේ ඉලක්කය විය යුත්තේ අපේ හැකියා, දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙනයන්නයි. ඔබ ළඟ විශාල නව සැලසුම් ඇති. ඒවා ගැන කතා කරන්න වේදිකා අඩුයි. ඇමතිවරු ළඟට ගිහින් නව අදහස් කිව්වමත් හරි කියලා යනවා එච්චරයි. ඒත් අපි ඊට වඩා දේකට සූදානම්. ඔබගේ අදහස් රජයට, කැබිනට් මණ්ඩලයට ගෙනගිහින් තවත් විමලසුරේන්‍ද්‍රලා බිහි කිරීමට අපි සූදානම්. ඉලක්ක සපුරා ගන්න නම් අමාත්‍යවරයාගේ සිට ඈත ගමේ විදුලි කණුවේ වැඩ කරන සහෝදරයා දක්වා එකමුතුකම ඉතාම වැදගත්. මෙතෙක් ආ දුර, ආදර්ශයට ගනිමින් ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ඓතිහාසික යුගයක් අදින් ආරම්භ කරමු" යැයි පැවසීය.









මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 853421245665950054

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item