දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල - නෙලුම් කුලුනට නගිමු

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුනේ මුල් සැලසුම්කරුවන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය ...

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුනේ මුල් සැලසුම්කරුවන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය නිමල් සිල්වා මහතාය. ඔහුගේ මූලික සැකිල්ලට අනුව එම කුලුනේ ඉදිකිරීම් කටයුතු කෙරෙන්නේ චීනයේ චයිනා නැෂනල් ඉලෙක්ටේ‍රා්නික් ඉන්‍පෝර්ට් ඇන්ඩ් එක්ස්‍පෝර්ට් කෝපරේෂන් සහ ඒරෝ ස්පේස් යන සමාගම් දෙක විසිනි. ඉදිරියේදී මෙම සමාගම් දෙක ඉවත්ව ගොස් අලුත් සමාගමක් සෙසු ඉදිකිරීම් සඳහා සම්බන්ධවීමට ඇති ඉඩකඩ බොහෝය.

මෙම කුලුන ඉදිකිරීමේදී ගණන් බලා ඇති ආකාරයට අනුව ඇස්තමේන්තු වියදම රුපියල් කෝටි 1147කි. උස මීටර් 150කි. එහෙත් දැන් ඒ මුල් සැලසුම තරමක් දුරට වෙනස්වී මීටර් 165ක් උසකට මෙම කුලුන විහිදී යනු ඇත. ඉදිකිරීම් නිමවීමෙන් පසු ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ අයිෆල් කුලුනද අභිබවා යනු ඇත.

මෙම කුලුනට ඇතුළුවීමට දොරටු හතරකි. දොරටු දෙකක් වෙන්වන්නේ විශේෂ අමුත්තන් වෙනුවෙනි. ඒ වෙන කිසිවක් නිසා නොව. ඉහළම මහ‍ලේ ප්‍රභූවරුන් වෙනුවෙන් අධි සුඛෝපභෝගී කාමර හයක් ඉදිවෙන බැවිණි. එම කාමරවල නානකාමර වැසිකිළි පවා දුරස්ථ පාලකවලින් ක්‍රියාත්මකවීමට සකස් කෙරෙන අතර එම කාමර හයම ජනපති වෙනුවෙන් වෙන්කරන්නකි. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එය ජනපති වෙනුවෙන් වෙන් නොකරන ලෙස කර ඇති ඉල්ලීමට අනුව දැන් එය වෙන්වන්නේ ප්‍රභූවරුන් වෙනුවෙනි. එම ප්‍රභූවරුන්ද බොහෝවිට මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන්ය.
දකුණු ආසියාවේ උසම කුලුන වන මෙම කුලුනේ පහත මහ‍ලේ සිට ඉහළම මහලට ගමන් කිරීමට ඇති සෝපානය සවිකරනුයේ විනාඩියකටත් අඩු කෙටි කලකින් ගමන් කිරීමට හැකිවන ආකාරයටය. එසේම යම් ආපදාවකදී විනාධි 30ක් ඇතුළත මෙම ගොඩනැගිල්ලෙහි සිටින සෑම අයෙකුම පිටතට ගැනීමේ හැකියාවක් තිබිමද විශේෂිතය.
නෙළුම් කුලුනේ පහත මහල වෙන්වන්නේ අවන්හලක් සහ විදුලි සංදේශ කෞතුකාගාරයක්, වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක් වෙනුවෙනි. පාදම පළමු මහල සහ දෙවැනි මහල මෙන්ම විවෘත මහල වශයෙනි. එහි පළමු මහල් දෙක සාප්පු සංකීර්ණ සඳහා වෙන්වනු ඇත.
මීටර් 365ක් උසැති නෙළුම් කුලුනේ ඇත්තේ මහල් 09කි. එම මහල් 09ම ඇත්තේ මීටර් 200ට වැඩි උසකිනි. පළමු සහ දෙවැනි මහල් වෙන්වන්නේ ගුවන්විදුලි, රූපවාහිනී සහ දුරකථන සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථාන වෙනුවෙනි. මෙරට සෑම ගුවන්විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථානයකම සම්ප්‍රේෂණ සවි විය යුතු වන්නේ මෙහිය.

තෙවැනි සහ සිව් වැනි මහල් වෙන්වන්නේ අමුත්තන් හා සියයකට පහසුකම් ඇති අවන්හලක් වෙනුවෙනි. පස්වැනි මහ‍ලේ ඇත්තේ කැරකැවෙන අවන්හලකි. අතිසුඛෝපභෝගී කාමර හය ඇත්තේ හය වැනි මහ‍ලේය. හත්වැනි මහල වෙන්ව ඇත්තේ නැරඹුම් මධ්‍යස්ථානයක් වශයෙනි. සෙසු මහල් දෙක වෙන්වන්නේ ගොඩනැගිල්ලෙහි ජලය ගබඩා කිරීමේ ටැංකි මෙන්ම විදුලිය, වායුසමීකරණ යන්ත්‍ර පහසුකම් වෙනුවෙනි.

මෙහි මහල් නවයට පසුව ඇත්තේ ඇන්ටනාවකි. එය මීටර් 40ක් උසැතිය. එය නිර්මාණය කෙරෙන්නේ ජපානයේදීය. තවමත් එම ඇන්ටනාව සවිකර නැති අතර එය සවිකරනුයේ ශක්තිමත් සැහැල්ලු විශේෂිත කොන්ක්‍රීට් බදාමයකිනි. නුදුරු දිනයකදීම එම ඇන්ටනාව සවි කෙරෙනු ඇත. මීටර් 365ක් උසැති ගොඩනැගිල්ලෙහි එකවර පුද්ගලයන් 1500කට රැඳී සිටීමට හැකියාව පවතින අතර දරුණු ගින්නකදී වුවත් එහි රැඳී සිටින්නන් ආරක්ෂාවන ආකාරයේ ආරක්ෂක ක්‍රම මෙහි සකස් වෙනු ඇත.

මෙහි නෙළුම් පෙති තවමත් සවිකර නැති අතර ඒවා මේ වන විට කර්මාන්ත ශාලාවල සකස් කර අවසන්ය. නෙළුම් පෙති සවිකරනුයේ කොටස් වශයෙනි. කැරකෙන අවන්හල, නැරඹුම් කොටස, සුඛෝපභෝගී කාමර ඇත්තේ එම නෙළුම් පෙති නැතිනම් නෙළුම් ‍පොහොට්ටුව තුළය.

මෙකී දැවැන්ත ඉදිකිරීමේ කටයුත්තට මුල්ගල් තැබෙන්නේ 2012 වසරේ ජනවාරි 20 වෙනිදාය. ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතිනි. වැඩ අවසන්වීමට සැලසුම් කෙරෙන්නේ මෙම වසරේදීය. එහෙත් මෙම වසරේ වැඩ අවසන් වේවි යැයි පවතින තත්ත්වය මත සිතිය නොහැකිය.

මෙම දැවැන්ත ඉදිකිරීමේ පාදම් කොටම් පවා නෙළුම්පෙති හැඩයට සකස් කෙරෙන අතර මේ තුළින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් මෙන්ම සශ්‍රීයත්වය, නිර්මලත්වය සංස්කෘතිත්වය පෙන්නුම් කරන බව සඳහන්ය.

ශ්‍රී ලංකාවේ සියලු ගොඩනැගිලි පරයා අහස උසට මේ වන විට ඉදිවී ඇති දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල මෙන්ම ලෝකයේ උසම ගොඩනැගිලි හතළිහ අතර තිබෙන නෙළුම් කුලුනේ ඉහළට නැග විවෘත වටාපිටාවක සිට ශීත සුළන් පහස විඳිමින් කොළඹ සිරි නරඹන්නට ලැබිම අසිරිමත් අත්දැකීමකි. මතෛක් නම් දරා සිටි ලංකාවේ උසම ගොඩනැගිලි වූ ලංකා බැංකුව සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය නෙළුම් කුලුනේ ඉහළට ගොස් බලන විට මාහට පෙනුණේ කුරුමිටි ඉදිකිරීමක් ලෙසිනි. ඒ අනුව කොළඹ ඇති සෙසු ඉදිකිරීම් නෙළුම් කුලුනේ ඉහළ මහ‍ලේ සිට දිස්වන්නේ කෙසේදැයි සිතාගන්නට පුළුවන.

මේ දැවැන්ත කුලුනේ එක් අන්තයකට පෙනෙන්නේ ඉමක් කොනක් නොපෙනෙන මහා සාගරයයි. කොළඹ වරායට එන යන නෞකා පෙනෙන්නේ කුඩා ළමුන්ගේ සෙල්ලම් බෝට්ටු ලෙසිනි. කොළඹ වරාය ඒ 04 කඩදාසියක සිතුවම් කළ චිත්‍රයක් බඳුය. නැගෙනහිර අන්තය කඳුකරයේ කඳු වළල්ල තෙක්ම විහිදී යයි. සිරිපාද කඳුවැටියද ඉතා පැහැදිලිවම දැකගන්නට පුළුවන. ඒ අසිරිය වචනයෙන් කියන්නට බැරි තරම් සුන්දරය. උතුරු සීමාවෙන් මීගමුවත් දකුණින් කළුතරත් දක්වා භූමිය පැහැදිලිවම දැකගන්නට පුළුවන. මුතුරාජවෙල ගබඩා සංකීර්ණය, සපුගස්කන්ද තෙල්පිරිපහදුව මෙහි සිට බැලූ කල දැනෙන්නේ අතේ දුරින් ඇති බවකි.

ගයාන් කුමාර වීරසිංහ





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 260395681773012862

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item