අපි උදේට තේ බොන්නෑ FRUIT JUICE එකක් තමයි බොන්නේ - වත්සලා
මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ රඟපාමින් රංගනයට අවතීර්ණ වු ඇය ඉතා කෙටි කාලයක් තුළ කලා ලොවේ ජනප්‍රිය නිළියක මෙන්ම නිවේදිකාවක ලෙස කිරුළු පැළැද...
https://www.sathhanda.com/2015/10/wathsala-diyalagoda.html
මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ රඟපාමින් රංගනයට අවතීර්ණ වු ඇය ඉතා කෙටි කාලයක් තුළ කලා ලොවේ ජනප්‍රිය නිළියක මෙන්ම නිවේදිකාවක ලෙස කිරුළු පැළැදු බව කවරුත් දනි. අද වන විට මේ සුරූපී නිළිය බිරිඳක මවක ලෙස වගකීම් රැසකට මැදිව කටයුතු කරන්නීය. ඇය වත්සලා දියලගොඩය. මව් පදවිය ලැබීමත් සමඟම සුපුරුදු රංගනයෙන් දුරස් වුවද ඇගේ රංගනය පිළිබඳ මතකය රසිකයන් අතර තවමත් පවතී. වත්සලාගේත් ඇගේ ආදරණීය සැමියා ප්‍රසංගගේත් කැදැල්ලේ නවතම තොරතුරු සොයා බලන්නට අපි මෙවර ඉඩකඩ වෙන්කළා.
ගෙවී යන ජීවිතයේ අලුත්ම තොරතුරු මොනවද වත්සලා?කලාව පැත්තෙන් නම් තවම කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. මොකද දුව ලැබුණට පස්සේ ඇගේ වැඩකටයුතුවලටම මම මුල් තැන දුන්නා. කලා ක්ෂේත්‍රයේ පොඩි පොඩි වැඩසටහන්වලට,නිවේදනයට දායක වුණා ඇරෙන්නට වෙන කිසිවක් බාරගත්තේ නැහැ. ටෙලි නාට්‍යයක් කරනවා කියන්නේ ලොකු වගකීමක්.
පුංචි දුවත් එක්ක ගෙවන ජීවිතයේ වෙනස කොහොමද? දැන් දුවට අවුරුදු එක හමාරයි. මේ ගෙවී යන්නේ එයාගෙ ජීවිතේ වගේම අපේත් සුන්දර කාලයක්. යළිත් මේ කාලය එන්නේ නැහැ. දුවගේ නම හිතෛෂී වෙනායා. උදේ නැගිට්ටට පස්සේ එයා නින්දට යන තුරුම මම එයත් එක්කමයි ඉන්නේ.
ඇයත් එක්ක දවස ගෙවන එක ලෙහෙසිද? වෙනායා නින්දට යන්නේ ගොඩක් රෑ වෙලා. එනිසා එයා උදේ නැගිටින්නේ නවයට විතර. මමත් ප්‍රසංගත් හත අට වෙනකොට නැඟිටිනවා. සාමාන්‍යයෙන් අපි උදේට තේ පානය කරන්නේ නැහැ. අපි දෙන්නම පෲට් ජූස් එකක් තමයි උදේම බොන්නේ. දුවටත් ඇය වෙනුවෙන්ම වෙන් වූ විශේෂ ආහාරයක් මම සකසනවා. ඉන්පස්සේ චූටි දුව වෙනායා එක්ක ප්‍රසංග කාලය ගත කරන තුරු මම උයන පිහන වැඩත් ගේදොර අස්පස් කරන වැඩත් කර ගන්නවා. අත්උදව්වට කෙනෙක් හිටියත් මගේ අතින් තමයි ගෙදර බොහොමයක් වැඩ කටයුතු සිදු වන්නේ. මොකද ප්‍රසංග ඔහුගේම ව්‍යාපාරයක් කරන නිසා ඔහු නිවෙසින් රැකියාවට යන්නේ දවල් වෙලා. එනිසා දුවගේ කටයුතුවලට වගේම ගෙදර දොර කටයුතුවලටත් ඔහුගෙන් ලැබෙන සහයෝගය වැඩියි.
මව්පියන්ගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැත්ද? දෙපැත්තේම මව් පියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මමයි ප්‍රසංගයි එළියට යනවා නම් දුවව බලාකියා ගන්නේ අම්මලා තමයි. ඒ වගේම අපේ හුඟාක් වැඩවලට අම්මලා උදව් කරනවා.
ඔබ අතින් නිවෙසේ දී විශේෂයෙන්ම සැකසෙන කෑම බීමත් ඇති? කියන්න සතුටුයි අපේ ගෙදර නම් කෑමට බීමට කිසිම කරදරයක් නැහැ. මම උයලා දෙන්නේ මොනවද ප්‍රසංග ඉතාම කැමැත්තෙන් ඒ දේවල් කනවා. එයාගෙන්නම් කෑමට බීමට නීති,කරදර නැහැ.
බිරිඳක මවක ලෙස ඔබ අද දරන වගකීම් ගැන මොකද හිතෙන්නේ? ජීවිතේ හැම ගැහැනියකටම උරුමවන දෙයක් කියා හිතෙනවා. ඉස්සර ජීවිතේ ගැන වගකීමක්, බරක්පතලක් තේරුණේ නැහැ. උපරිම නිදහසේ හිටපු කෙනෙක් මම. විවාහ වුණාට පස්සේත් ඉන්පසු දරුවා ලැබුණට පස්සේ ඒ නිදහස අඩු වුණා. අපිට හිතෙන වෙලාවට යන්න බැහැ. හිතුණ දේ කරන්න බැහැ. තැනකට ගියත් බබාට අවශ්‍ය හැමදේම අරගෙන යන්න ඕන. බිරිඳක් මවක් වෙනවා කියන්නේ ජීවිතේට ලොකු අත්දැකීමක්. ඒ වගේම ලොකු වගකීමක්. ජීවිතේ හරි පුදුමයි කියල තමයි හිතෙන්නේ.
දෙදෙනාටම විවේකයක් ලැබුණම එය ගත කරන්නේ කොහොමද? දැන් නම් අපිට විවේකයක් කියල දෙයක් නැති තරම්. දවස් තුන්සිය හැට පහේම විසිහතර පැයම ගතවෙන්නේ දුවත් එක්කයි. දුව ඉපදුණාට පස්සේ අපි දුරක ගියේ නැති තරම්. පොඩි වෙනසකට කෑමට ළඟ තැනකට ගියොත් ඇරෙන්න දුර ගමන් බිමන් නම් ගියේ නැහැ.
මේ හැදේමත් එක්ක වත්සලාගේ ජීවිතේ බොහෝ පැතුම් දැන් ඉටු වෙලා... ඔව්. අද අපි දෙදෙනා ඉන්න තැන ගැන නිහතමානී ආඩම්බරයක් මගේ හිතේ තිබෙනවා. අපි ළඟා කරගෙන තිබෙන මේ හැම දෙයක්ම ප්‍රසංගගේ උත්සාහයේ කැපවීමේ ප්‍රතිඵලයි. ඔහුගේ ශක්තියෙන් හා හැකියාවෙන් තමයි මේ ගෙවල් ව්‍යාපාර හැම දෙයක්ම ගොඩනැඟුවේ.
ඔබ ගෙවන මේ ජීවිතේ එක්ක රංගන ඔබෙන් දුරස්ම වී යයිද?රංගනයට ප්‍රසංග මට කවදාවත් නීති දාලා නැහැ. දුව තවමත් පුංචි නිසා පහුගිය කාලයේ කරපු ආරාධනා සියල්ල ප්‍රතික්ෂේප කරන්න වුණා. අනෙක මම කවදාවත් එක දිගට රැල්ලට රඟපාපු කෙනෙක් නෙමෙයි. පවුල් ජීවිතය වගේම කලා ජීවිතයත් බැලන්ස් කරගෙන රඟපාන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ලබන වසරේ ටෙලි නාට්‍යයක රඟපාන්න මට ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියේ දී මගේ රඟපෑම් යළිත් ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබේවි.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ


Related