අය වැයෙන් රට අර්බුදයක - ලබන අවුරුද්ද සුබ වෙන් නෑ

වත්මන් ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ 2016 අය - වැය නිසාවෙන් රට දැඩි අර්බුදයකට ඇදගෙන යන බවත්, ජනතාවට සුබ අලුත් අවුරුද්දක් වේවායි වර්ෂ අවසානයේදී ...

වත්මන් ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ 2016 අය - වැය නිසාවෙන් රට දැඩි අර්බුදයකට ඇදගෙන යන බවත්, ජනතාවට සුබ අලුත් අවුරුද්දක් වේවායි වර්ෂ අවසානයේදී පැතුවද රටේ ආර්ථික අර්බුදය නිසා එවන් සුබතාවක් ඇති නොවන බවත් ඊට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුවම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන කීය. ඔහු එසේ ප්‍රකාශ කළේ එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ඊයේ (23දා) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීය.මේ අය - වැයේ ප්‍රතිඵල ජනතාවට ලැබෙන්නේ හරියටම තව දවස් 8කින්. මේක ඉතාම අහිතකර අය වැයක්. හැබැයි දෙවැනි වර කියැවීමේදී තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත වුණා. ඊට පස්සේ අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරලා සංශෝධන වගයක් කරලා කිව්වා මේක සහනශීලී අය - වැයක් කියලා. හැබැයි ඒ කිසිම දෙයක් යෝජනාවක් විදියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත වුණේ නැහැ.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එහෙම සංශෝධන තියෙනවා නම් මුදල් ඇමැතිවරයා ඒ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ඒ සංශෝධන මුද්‍රණය කරලා අපිට ලබා දෙන්න ඕන. නමුත් ඒ කිසිම දෙයක් සිදුවුණේ නැහැ. සංශෝධන කියලා ඉදිරිපත් කරපු දේවල් හුදු කතන්දරයකට විතරයි සීමා වුණේ.

ඒ නිසා අපි කියනවා මේ අය - වැය සංශෝධන සහිත සංශෝධිත අය - වැයක් ජනවාරියේදී ඉදිරිපත් විය යුතුයි කියලා. නැත්නම් මේ රට අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ඇත්තටම කියනවා නම් මේ අය - වැයේ සංශෝධනය නොවුණේ "කතානායකතුමනි" කියන වචනය විතරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව මුණ ගැසුණු හීලෑ නොවුණු විපක්‍ෂයේ අපි මේ අය - වැයේ යථාර්ථය එතුමට දීර්ඝ ලෙස ප්‍රකාශ කළා. ඒ වෙලාවේ එතුමා කිව්වා රජයේ ගිණුම්වල මුදල්වලින් කොටසක් පෞද්ගලික බැංකුවල තැන්පත් කරන්නේ නැහැ කියලා.

නමුත් මුදල් ඇමැතිතුමා ජනාධිපතිතුමාගේ තීරණයට පිටින් ගිහින් පෞද්ගලික බැංකුවල සල්ලි දැම්මොත් වෙන්නේ රජයට රජයේ බැංකු ගැන තියෙන විශ්වාසය පලුදු වෙලා කියලා රටේ ජනතාවට මතයක් එනවා. එතකොට රටේ ජනතාවටත් රජයේ බැංකු ගැන තියෙන විශ්වාසය අඩු වෙනවා.

රජයේ බැංකු සේවකයන් කරපු එක් දින වැඩවර්ජනයට කරන පළිගැනීමක් විදියට තමයි රජයේ සල්ලි පෞද්ගලික බැංකුවලට දාන්න යන්නේ.

මේ දේවල් ඒකාබද්ධ විපක්‍ෂය වශයෙන් අපි දැඩි ලෙස විවේචනය කරනවා. ඒ වගේම මේ දේවල්වලට විරුද්ධ වෙනවා. ලංකා බැංකුවේ විතරක් තියෙන වත්කමේ ප්‍රමාණය බිලියන 1,500යි. ලංකා බැංකුවෙයි මහජන බැංකුවෙයි තියෙන මුළු වත්කම්වල ප්‍රමාණය ලංකාණ්ඩුවේ අය - වැය ලේඛනයට වඩා වැඩියි. මේ මහා ධනස්කන්ධය දිගු කලක් තිස්සේ වර්ධනය වුණු ධනස්කන්ධයක්. මේක ජාවාරම්කරුවන්ට යොමු කරන්න හදනවා නම් මේ රටේ ජනතාව ඒ තීන්දුවට ඉඩ දෙන්නේ නැහැ. මොකද රජයේ ගිණුම් සියල්ලම රජයේ බැංකුවල තබා ගැනීම අනිවාර්යයි.

ඒ වගේම රජයට වැඩිම ණය ප්‍රමාණය දෙන්නේ රජයේ බැංකුවෙන්. භාණ්ඩාගාර ගිණුමේ තියෙන බැර වුණු මුදල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන්න සිදු වුණාම ඒ අයිරාව ගන්නේ රාජ්‍ය බැංකුවලින්. මේ රජය කරන වැඩේ කළොත් ඒ දේ කරන්න බැරි වෙනවා. ඒ නිසා රාජ්‍ය බැංකු දඩයම් කරන්න, බැංකු සේවකයන් නිහඬ කරන්න අද උත්සාහ කරන්නේ අය - වැය ලේඛනයේ ඇති ප්‍රතිවිපාක වැඩිපුර තේරෙන පිරිස ඒ පිරිස නිසයි. ඒ වගේම මේ රජය සීපා ගිවිසුම වෙනත් නමකින් අස්සන් කරන්න සූදානම් වෙනවා. ඉන්දියාව පැත්තෙන් ඉදිරිපත් කරලා තියෙන යෝජනාවල හෙදියන්, වෛද්‍යවරුන්, ගෘහනිර්මාණ ශිල්පීන්, ගණකාධිකාරිවරුන්, පරිගණක විශේෂඥයන් යන අයට නිදහසේ රට තුළට එන්න පුළුවන් විදියේ එවා තියෙනවා. ඒ නිසා මේ රටේ ඉන්න සියලුම වෘත්තිකයන් මේ ආකාරයේ ගිවිසුමක් අස්සන් කරන්න රජයට අවකාශ සලසන්නේ නැහැ. ආණ්ඩුව මේ දේවල් ගැන සත්‍ය තොරතුරු හෙළිදරව් කරන්නෙත් නැහැ.

අවුරුද්ද අවසානයේදි අපි හැමෝටම කියනවා ලබන අවුරුද්ද සුබ වෙන්න කියලා. හැබැයි ලබන අවුරුද්ද සුබ නොවුණොත් ඒකට වග කියන්න ඕන අපි නෙවෙයි" යැයි ගුණවර්ධන මන්ත්‍රිවරයා කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6016697579020432670

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item