දුව නැති වුණා විතරක්‌ නෙමෙයි අපිට පාරේ බැහැලා යන්නත් බැරි වුණා

ලොවක් අවලාද නඟද්දී ඇය නිහඬව අසා සිටියාය. හදවතින් විලාප දී හැඬුවාය. විටෙක හදවතේ නැඟෙන විලාපය නිවස දෙවනත් කරන අඳෝනාවක්‌ විය. එහෙත් සේයා මැණික...

ලොවක් අවලාද නඟද්දී ඇය නිහඬව අසා සිටියාය. හදවතින් විලාප දී හැඬුවාය. විටෙක හදවතේ නැඟෙන විලාපය නිවස දෙවනත් කරන අඳෝනාවක්‌ විය. එහෙත් සේයා මැණික නැවත ඇයගේ තුරුලට ආවේ නැත. තිරිසනකුගේ ගොදුරක්‌ වූ සේයා සදෙව්මි සදාකාලික නින්දකට වැටිණි. ඒ පුංචි සමනළියගේ අකල් වියෝවත් සමග ඇයගේ මව තවම හඬන්නීය. සමාජයෙන් අවලාද අසන්නීය. ඒ ගැරහුම් ඉදිරියේ නිහඬව සිටි සේයාගේ මව වන සමන්ති පසුගිය දිනක "දිවයිනට" කතා කළාය. සේයාගේ ඝාතනයෙන් පසු ඇයට සහ පවුලේ සාමාජිකයන්ට විඳින්නට සිදු වූ දුක්‌ඛ වේදනා, අපවාද ගැන මෙන්ම සේයාගේ ඝාතනයත් සමඟ සමාජයේ හැසිරීම තම පවුලට බලපෑ ආකාරය ගැන ද ඇය අප සමඟ කතා කළාය. මේ පෙළගැසෙන්නේ ඇය කියන ඒ කතාවය.

"මගේ මහත්තයා ඉංග්‍රීසි ගුරුවරයෙක්‌. මහත්තයට හොඳ වැටුපක්‌ ලැබුණා. ඒ නිසා මහත්තයා මාව ජොබ්වලට යෑව්වේ නෑ. අපි බොහෝම ලස්‌සනට ජීවත් වුණා. නොහිතපු වෙලාවක මහත්තයාගේ ජොබ් එක නැති වුණා. ජීවත් වෙන්න තිබුණු එකම ආදායම් මාර්ගය නැති වුණාට පස්‌සේ අපි අන්ත අසරණ වුණා. මහත්තයා වෙල්ඩින් වැඩ කරන්න පටන් ගත්තා. ඒ රස්‌සාවෙන් ලොකු ආදායමක්‌ ලැබුණේ නැති නිසා මමත් ජොබ් එකකට ගියා. රජයේ රැකියාවක්‌. පස්‌සේ මහත්තයටත් ඉන්ටර්නැෂනල් ස්‌කූල් එකක ගුරුවරයෙක්‌ විදිහට වැඩ කරන්න ලැබුණා. අපිට තිබුණු ප්‍රශ්න ටික, ටික අඩු වෙලා ආයෙමත් අපි යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගත්තා. අපි හොඳට ඉන්නවා බලාගෙන ඉන්න බැරි මිනිස්‌සු මහත්තයා උගන්නපු ස්‌කූල් එකට ගිහින් බොරු කේලම් කියලා මහත්තයගේ ජොබ් එක නැති කළා. පස්‌සේ මහත්තයා බැංකු ණයක්‌ දාලා වෑන් එකක්‌ අරගෙන ගාමන්ට්‌ එකකට දාල හයර් කළා. ගාමන්ට්‌ එකේ ළමයින්ව ගෙවල්වලට බස්‌සලා මහත්තයා එන්නේ රෑ දෙගොඩ යාමේ. මහත්තයා එනකම් අපි ගෙදර ඉස්‌සරහා දොරේ යතුර දාන්නේ නෑ. මහත්තයා ඇවිත් නිදාගන්න යනකොට තමයි දොරේ අගුල දාන්නේ. අපේ ගමේ ගෙවල්වලට පනින හොරු හිටියේ නෑ. ඒ නිසා බය නැතුව අපි නිදා ගත්තා. ඔය සිද්ධිය වෙන දවසෙත් දොර ලොක්‌ කරන්නේ නැතිව තමයි නිදා ගත්තේ. එදත් දරුවො නිදාගත්තට පස්‌සේ, ගෙදර වැඩ කරලා ඉවරවෙලා රෑ දහයමාර වෙනකම් මම ටී.වී. බලලා තමයි නින්දට වැටුණේ."...

"ඇඳන් දෙකක්‌ එකතු කරලා අපි පස්‌ දෙනා නිදාගන්නේ එකට. දරුවො තුන්දෙනාම මට තුරුලු වෙලා නිදාගන්නේ. නින්දෙන් තමයි එහාට මෙහාට වෙන්නේ. සේයා දුව මහ රෑට හිටපු ගමන් ආච්චි අම්මා ළඟට දුවනවා. එදත් මහත්තයා නිදාගන්න හදනකොට සේයා කෝ කියලා ඇහුවා. මම කිව්වා අම්මා ළඟට ගිහින් ඇති කියලා. කවුද දන්නේ දුවව හොරු අරන් ගිහින් කියලා. මමත් රස්‌සාවක්‌ කරන ගෑනියෙක්‌. රස්‌සාවයි, දරුවන්ගේ වැඩයි, ගෙදර වැඩයි සේරම කරනකොට තියෙන මානසික පීඩනය ජොබ් කරන ගෑනු හොඳට දන්නවා. ඒත් මම දරුවො ගැන හොඳට සොයා බැලුවා. රෑට දරුවො ඇහැරෙන හැම වෙලාවකම මමත් ඇහැරෙනවා. එදා මොන හේතුවක්‌ නිසා මර නින්දට වැටුණද කියලා අදටත් මට හිතාගන්න බෑ. ජනේලය වහන්න බැරි වෙච්ච එක මගේ වරදක්‌. මීට කලිනුත් ඕන තරම් ජනෙල්වල අගුල් දාන්න අමතක වෙලා අපි නිදාගෙන තියෙනවා. හොරුන්ට අපේ ගෙට පැනලා ගන්න දෙයක්‌ තිබුණේ නෑ. ගෙට පැනලා කිරි දරුවො උස්‌සගෙන යන්න තරම් තිරිසන්නු ගමේ හිටියද කියලා හිතුවෙත් නෑ. අපිට වැරැදුණා. ඒත් ගමේ මිනිස්‌සු අපිට කට කතා ගෙතුවේ දරුව අපි අරගෙන යන්න දීලා වගෙයි. මගේ තුරුලේ ඉන්නකොට දුව උස්‌සගෙන ගිහින් කිව්වා. ළමයි ගැන මම හොයලා බලන්නේ නෑ කියලා කිව්වා. දරුවො ගැන හොයා බලපු හැටි දන්නේ මම විතරයි. අපිට මොන අගහිඟකම් තිබුණත් දරුවො තුන්දෙනාට කිසිම අඩුවක්‌ කළේ නෑ. අපි නොකා හරි දරුවො ඉල්ලන හැම දේම දුන්නා. මම රස්‌සාවකට ගියෙත් දරුවො නිසා තමයි. ඒ අයට හොඳට උගන්වන්න. කන්න අඳින්න දෙන්න. රස්‌සාවක්‌ කරනකොට ආයතනයේ නීති රිතීවලට යටත් වෙන්නත් ඕනෑ. ඕන, ඕන විදිහට නිවාඩු ගන්න බෑ. ඒ වගේ හේතු නිසා පුංචි අතපසුවීම් නොවෙන්න දරුවන්ට මගෙන් වෙන්න ඕනෑ යුතුකම් පැහැරහැරියේ නෑ. දවල් දවසට අම්මා දරුවො බලා ගත්තට මම ගෙදර ආපු වෙලාවේ ඉඳලා දරුවො තුන්දෙනාගේ හැම දෙයක්‌ම හොයලා බැලුවා. ඒත් ගමේ මිනිස්‌සු කියලා තිබුණේ දරුවො හැදුවේ අම්ම, මම දරුවො ගැන සොයල බලන්නෙත් නෑ කියල කිව්වා. මම දරුවන්ව එළියේ නිදි කරලා තියලා දරුවා අරගෙන ගියේ නෑ. ගෙට පැනලා ඇඳේ නිදාගෙන ඉන්නකොටයි දරුවා අරගෙන ගිහින් තිබුණේ...

"දුවගේ ඝාතනයත් එක්‌ක මට විශාල පීඩනයක්‌ ආවා. මම හීනෙකින්වත් හිතපු නැති දේවල් ගමේ මිනිස්‌සු මට කිව්වා. සේයා දුව මගේ මහත්තයගේ නෙමෙයි කියලත් කියලා තිබුණා. ඒක කවුරුවත් කියන්න ඕන නෑ මගේ මහත්තයා දන්නවා. අපි ගැන අපිට හොඳ අවබෝධයක්‌ තියෙනවා. මම ජීවිතේට කිසිම වරදක්‌ කරලා නෑ. මම ළඟින් ඇසුරු කරපු අය ඒ දේවල් දන්නවා. මම ගැන දන්න මිනිස්‌සු මට ගැරහුවේ නෑ. අපේ ගමේ අපිට කුහකකම් කරන මිනිස්‌සු තමයි මට එක, එක කතා ගෙතුවේ. මාධ්‍යයට දුන්නේ. මාධ්‍යවලින්, කට කතාවලින් ඒ දේවල් පැතිරෙනකොට මට පාරේ බැහැලා යන්න බැරිව ගියා. සමහර මිනිස්‌සු මගේ දිහා බැලුවේ සතෙක්‌ දිහා බලන්න වගෙයි. මගේ හිතේ තියෙන දුක තව කාටහරි කියා ගන්න බැරි තරමට මම මානසිකව වැටුණා. පස්‌සේ මම රස්‌සාව කරපු තැනින් කතා කරලා මට ඇවිත් වැඩ කරන්න කියලා කිව්වා. මම වැඩ කරන තැන කිසිම කෙනෙක්‌ මගේ වරදින් මේ දේ වුණා කියලා කිව්වේ නෑ. හැම කෙනෙක්‌ම මට අනුකම්පා කළා. ආයතනයේ අය තමයි මගේ හිත හැදුවේ. නැත්තම් මට මොනවා වෙයිද කියලා මටවත් හිතාගන්න බැරිවයි හිටියෙ"...

"අපේ කරුමයක්‌ නිසා තමයි, දරුවා අපිට නැති වුණේ. දැන් අපට දරුවා ආපහු ලබාගන්න බෑ. මම ඒ ගැනම හිතලා මානසිකව වැටිලා ලෙඩෙක්‌ වුණොත් මේ දරුවො දෙන්නට යන එනමං නැති වෙනවා. අනිත් දරුවො දෙන්න ගැන හිතලා ජීවත් වෙනවා. මගේ ලොකු පුතා ඉස්‌කොලේ තුන වසරේ ඉගෙන ගන්නවා. පුංචි දුවත් පෙර පාසල් යවන්න ඕනෑ. ආයෙමත් මගේ මහත්තයා ඉන්ටර්නැෂනල් ස්‌කූල් එකක උගන්වනවා. ඒ නිසා නැවත, නැවත අපේ පින්තූර මාධ්‍යවල පළ කරන එක අපේ රාජකාරී ජීවිතවලට බලපෑමක්‌. මට වඩා මගේ මහත්තයට ඒක බලපනවා. එයා වැඩ කරන්නේ ළමයි එක්‌ක. ඒ ළමයි දන්නේ නෑ මහත්තයා සේයාගේ තාත්තා කියලා. මාධ්‍යයෙන් අපේ පින්තූර පළ කළහම ඒ ළමයි දැන ගන්නවා මහත්තයා සේයාගේ තාත්තා කියලා. එතකොට ළමයි මහත්තයා දිහා බලන්නේ වැරැදි විදිහට. මොකද දුවගේ මරණයත් එක්‌ක අපේ චරිතත් මිනිස්‌සු මරලා දාලා තියෙන්නේ. මහත්තයවත් අපරාධකාරයෙක්‌ විදිහට හංවඩු ගැහුවා. මේ ලෝකයේ ඉන්න නරකම අම්මා මම කියලා තමයි සමහර මිනිස්‌සු කිව්වේ. විශේෂයෙන්ම අපේ අසල්වාසීන්. අපිට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක්‌ ඇති වුණා. දැන් නම් මිනිස්‌සුන්ට ඒ දේවල් අමතකයි. නැවත අපේ පින්තූර දකිනකොට මිනිස්‌සුන්ගේ හිත්වලට යටගියාව මතක්‌ වෙනවා. එහෙම වුණොත් ආයෙමත් මහත්තයට රස්‌සාවක්‌ නැති වෙන්නත් ඉඩ තියෙනවා. අපි බොහෝම අමාරුවෙන් ගොඩනඟාගෙන එන ජීවිත මඟ නතර වෙනවා. එහෙම වුණොත් අපේ අනිත් දරුවො දෙන්නට මොකද වෙන්නේ...

"දුවගේ මළගෙදරටත්, ඊට පස්‌සෙත් හුඟක්‌ වියදම් ගියා. ණය වෙන්නත් වුණා. අපිට තිබුණු වෑන් එකත් විකුණන්න සිද්ධ වුණා. අදටත් අපි අපේ ගෙදරට යන්නේ නෑ. ගිහින් ඉන්න බෑ. දුව මතක්‌ වෙනවා. ගේ පුරා සේයා දුවගේ කටහඬ දෝංකාර දෙනවා. දරුවා දුව, පැනලා සෙල්ලම් කරපු හැටි මතක්‌ වෙනවා. 'අම්මේ බඩගිනියි' කියලා දුවගෙන ඇවිත් ඇඟේ එල්ලෙනවා දැනෙනවා. ඒ දේවල් මතක්‌ වෙනකොට ගෙදර ඉන්න අමාරුයි. පෙර විදිහට අපිට වටේපිටේ මිනිස්‌සුත් එක්‌ක ඇයි හොඳයිකම් පාන්න බෑ. අපි තවම ඉන්නේ මගේ මහ ගෙදර. නැවත අපි අකරන්ගහ ගමේ ගෙදරට යන්නේ නෑ. කොහෙන් හරි ටිකක්‌ දුරකින් ඉඩම් කෑල්ලක්‌ අරගෙන ගෙයක්‌ හදාගන්නවා. අනිත් දරුවො දෙන්නට හොඳට උගන්වන්න ඕනෑ. ඒ හැම දෙයක්‌ම කරන්න අපි ශක්‌තිමත්ව ඉන්න ඕනෑ...

"සේයා දුවගේ නඩුවට උසාවියට ඇවිත් ගිය හැම දිනකටම පසු දිනයේ අපේ පින්තූර මාධ්‍යවල පළවෙනවා. මේ හේතුව නිසා මගේ මහත්තයා නඩුවට එන එක අඩු කළා. මමයි, අම්මයි තමයි දිගටම නඩුවට ආවේ. මේ මාසේ 25 වැනිදා ඉඳලා දරුවගේ නඩුව දිගටම කතා කරනවා. ඒ හැම වතාවකදීම අපිටත් උසාවි එන්න වෙනවා. මගේ මහත්තයටත් එන්න වෙනවා. දරුවන්ටත් එන්න වෙයි. දුවගේ නඩුවට වෙන්නේ මොකක්‌ද කියලා මාධ්‍යවල පළ කළාට ප්‍රශ්නයක්‌ නෑ. මගේ දුවව මරා දාපු මිනීමරුවට දෙන දඬුවම මාධ්‍යවලින් මුළු ලෝකයටම කියන්න ඕනෑ. ඒ විස්‌තරයත් එක්‌ක අපේ පින්තූර නොදා ඉන්නවා නම් ගොඩක්‌ හොඳයි. ඒක අපිට කරන උදව්වක්‌. දුවගේ නිරුවත් පින්තූර අදටත් වෙබ්අඩවිවල යනවා. දුවගේ ඝාතනයත් එක්‌ක සමහර මාධ්‍ය බොරු ප්‍රචාරය කරලා අපේ චරිත ඝාතනය කළා. ගමේ මිනිස්‌සු කියපු දේවල් තමයි මාධ්‍යවල පළ කළේ. ඒ නිසා අපි කිසිම මාධ්‍යයකට චෝදනා කරන්නේ නෑ. දුවගේ මරණයෙන් පස්‌සේ මාධ්‍යයෙන් ඒ ගැන දිගින් දිගටම කතා කරපු නිසා තමයි හැංගිලා හිටපු මිනීමරුවා මෙච්චර ඉක්‌මනට කොටු කරගන්න පුළුවන් වුණේ. මාධ්‍ය කෙරෙහි අපේ තියෙන ගෞරවය අබමල් රේණුවක්‌ තරම්වත් අඩු වෙලා නෑ. අපි කාටවත් වරදක්‌ කරපු මිනිස්‌සු නෙමෙයි. මේ වගේ දෙයක්‌ වුණේ අපේ කරුමයකට. අපිට අනුකම්පා කරන්න. අපිට අපේ ජීවිත ගොඩ නඟාගන්න ඉඩ දෙන්න. අපේ පින්තූර මාධ්‍යවල පළ කරන්න එපා... විශේෂයෙන්ම මහත්තයගෙ පින්තූර පළකරන්න එපා' සේයා සදෙව්මිගේ මව රටේ මාධ්‍ය ආයතනවලින් එසේ කාරුණික ඉල්ලීමක්‌ කරන්නීය....

"සේයා සදෙව්මිගේ ඝාතනයට යුක්‌තිය ඉටු වන තෙක්‌ මුළු රටම අවධානයෙන් සිටිය යුතු බව සැබෑය. ඒ ගැන සොයාබැලීම රටේ මාධ්‍ය වගකීමකි. එහෙත් සේයා දැරියගේ ඥාතීන්ගේ අකැමැත්තෙන් ඔවුන්ගේ ඡායාරූප පළ කිරීම ගැන වරක්‌ නොව, කිහිප වරක්‌ මාධ්‍ය ආයතන සිතා බැලිය යුතුය. සේයා දැරියගේ ඝාතන සිද්ධිය පුරාම අප දුටුවේ හැඟුම්බර පිරිස්‌ විසින් කරන ලද ප්‍රකාශ සහ දැරියගේ ඝාතනය තරගයට විකුණන මාධ්‍ය සංදර්ශනයකි. එළෙඹන 25 වැනිදා සිට නඩුවට තීන්දුවක්‌ ලැබෙන තෙක්‌ සෑම දිනකම සේයා දියණියගේ ඝාතන නඩුව විභාග කිරීමට අධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ. සේයාගේ ඝාතනය හමුවේ මාධ්‍ය රඟදැක්‌වූ සංදර්ශනය ඉදිරියට ද ක්‍රියාත්මක වුවහොත් එයින් විඳවන්නේ සේයාගේ ඥාතීන්ය. අපි වටහා ගත යුත්තේ මිය ගිය ජීවිතයට වඩා ජීවතුන් අතර සිටින ජීවිතවල වටිනාකම ගැනය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8078994918949144229

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item