ඇතෙකුට වෙඩිතබා මළ සොවින් වෙඩික්කරු සියදිවි නසාගනියි
වන ඇතෙකුට වෙඩි තබා ඝාතනය කළ අයෙකු තමන්ද වෙඩි තබා ගෙන සිය දිවි නසා ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි. මෙසේ සිය දිවි නසා ගෙන ඇත්තේ එ...

https://www.sathhanda.com/2016/01/blog-post_454.html
වන ඇතෙකුට වෙඩි තබා ඝාතනය කළ අයෙකු තමන්ද වෙඩි තබා ගෙන සිය දිවි නසා ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි.
මෙසේ සිය දිවි නසා ගෙන ඇත්තේ එළුවන්කුලම -රාල්මඩුව පදිංව සිටි සෙල්වරාසා සිවපාදසුන්දරම් (අවු:46) නම්වූ තිදරු පියෙකි.
මිය ගොස් ඇති පුද්ගලයා තම බිරිඳගෙන් වෙන්වී දරුවන්ද සමග ජීවත් වී ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.
ඔහු එළුවන්කුලම - රාල්මඩුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන සංචාරක හෝටලයක සේවය කරමින් සිට ඇති අතර මීට දින තුනකට පමණ පෙර දිනකදී ඔහු විසින් රාල්මඩුව ප්‍රදේශයේදී වන ඇතෙකුට වෙඩි තබා තිබේ.
එම වන ඇතා මිය ගොස් ඇති බව දැන ගැනීමෙන් පසුව තමන් සේවය කරන සංචාරක හෝටලයට ආසන්නයෙන් තිබෙන කැලෑවට ගොස් ඇති ඔහු වෙඩි තබා ගෙන ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
එක් වෙඩිල්ලක් තබා ගත්තද එය වැරදුණු බව දැනගත් ඔහු තම මවට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ තමන් විසින් ඇතෙකුට වෙඩි තැබූ බවත්, එම සතා මිය ගොස් ඇති බව දැන ගන්නට ඇති බැවින් තමන්ද වෙඩි තබා ගෙන මිය යන බවත්ය.
පසුව මේ බව ඔහුගේ සහෝදරයා වන සෙල්වරාසා කුමාර් යන අය විසින් වනාතවිල්ලුව පොලීසියට දැනුම් දී ඇත.
ඒ අනුව රාල්මඩුව ප්‍රදේශයට ගොස් සොයා බැලීම්දී සිය දිවි නසා ගෙන ඇති බවට සැකකරන අයගේ මළ සිරුර තිබී හමු වී ඇති බවත්, එම ස්ථානයේ තිබී මෙරට නිපදවන ලද බෝර 12 ගිනි අවියක්ද,ජීව පතුරම් 01 ක්,හිස් පතුරම කොපුවක් සහ විදුලි පන්දමක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇති බවත් අප වාර්තාකරු පවසයි.
මිය ගොස් ඇති අයගේ මළ සිරුර තිබූ ස්ථානයට මීටර් 300 ක් පමණ නුදුරින් තිබී වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති වන ඇතෙකුගේ සිරුරක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.
සිය දිවි නසා ගෙන ඇති අය වෙඩි තබන්නට ඇත්තේ එම වන ඇතාට බව විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.
මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදි.
මිය ගොස් ඇති අයගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් එහිදී නියම කරන ලදි.
ඒ අනුව මළ සිරුර පුත්තලම මූලික රෝහල වෙත ගෙනවිත් බාර දීමට වනාතවිල්ලුව පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇත.
Related