උපාලි තෙන්නකෝන්ට ගහන්න ආවේත් ලසන්ත ඝාතකයන් - දුරකථන කුළුණු ඔස්සේ කෙරෙන පරීක්ෂණය

‘රිවිර’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමට පැමිණ ඇත්තේ සන්ඩේ ලීඩර් හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාත...

‘රිවිර’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමට පැමිණ ඇත්තේ සන්ඩේ ලීඩර් හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ අපරාධකරුවන් බවට දුරකථන අංක 05ක් ඔස්සේ තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) ගම්පහ මහෙස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා බුද්ධි අංශ සාජන් මේජර්වරයා මෙම නඩුව සම්බන්ධයෙන් ඊයේ (08) බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම කරුණු අනාවරණය විය.

මෙම සැකකාර බුද්ධි අංශ නිලධාරිවරයා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙසට නම්කර ඇති බවට රහස් ‍පොලිසිය කළ ඉල්ලීමකට අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා විසින් එම සැකකරු ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාරය වෙත නියෝග නිකුත් කර තිබුණේ ඉකුත් 03 වැනිදාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් උ.‍පො.ප. සුනිල් සරණපාල සහ ජයවීර යන මහත්වරු සිද්ධියට අදාළ වැඩිදුරට වාර්තාවක් ද සමගින් අධිකරණයේ පෙනී සිටියහ.

පහරකෑමට ලක් වූ උපාලි තෙන්නකෝන් මහතා සම්බන්ධ සිද්ධිය වැලිවේරිය ‍පොලිසිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරගනු ලැබූ බවත්, උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳ ආරක්ෂාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට පිටව ගොස් ඇති බැවින් ඔවුන්ගේ ප්‍රකාශ ලබාගැනීමට නොහැකි වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය ‘බි’ වාර්තාවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

උපාලි තෙන්නකෝන් මහතාට පහරදී සිදු කළ 2009 ජනවාරි 23 වැනි දිනට පෙර එනම් 2009 ජනවාරි 08 වැනි දින සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත මනිලාල් වික්‍රමතුංග මහතා, අත්තිඩිය මලගල පාසල ඉදිරිපිට දී යතුරුපැදිකරුවන් සිව්දෙනකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ බවත්, එම සිද්ධියට අදාළ විමර්ශන 2009.12.12 වැනි දා ‍පොලිස්පතිවරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරකර ඇති බවත් ‍පොලිස් නිලධාරීන් අධිකරණයේ දී කරුණු හෙළි කළහ.

එසේම එම විමර්ශනයට අදාළව සිදු කළ මෙහෙයුම්වල දී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයන් විසින් පරිහරණය කරන ලද ජංගම දුරකථන අංක 05ක් පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එම දුරකථන අංක පහ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වීමට මසකට පමණ පෙර ක්‍රියාකාරී තත්ත්වයෙන් තිබි ඇති බවත්, එම දුරකථන අංක පහ භාවිත කළ පුද්ගලයින් මතෛක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් රහස් ‍පොලිසිය සිය වාර්තාවෙන් සඳහන් කර ඇත.

එම ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයින් ලසන්ත වික්‍රමතුංග මහතා ෙදෙනිකව ගමන් ගන්නා මාර්ග ඔස්සේ හඹාගොස් ඇති බවත්, 2009.01.06 වැනි දි සිට 2009.01.07 වැනි දින දක්වා කාලය තුළ උපාලි තෙන්නකෝන් මහතාගේ නිවසට ආසන්නයේ පිහිටා ඇති ඩයලොග් කුලුනු ආවරණය වන කලාපයේ ද ක්‍රියාත්මකව තිබූ බවට වාර්තාවලින් හෙළි වී ඇති බවත් රහස් ‍පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇත.

එසේම එම දුරකථන වාර්තාවලට අනුව එම පුද්ගලයන් උපාලි තෙන්නකෝන් මහතා ගමන් කළ මාර්ගයේ සිට ඇති බවට ද තහවුරු වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

මේ අනුව උපාලි තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමට හෝ පහරදීමට පැමිණි කණ්ඩායමත්, ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ කණ්ඩායමත් පරිහරණය කර ඇත්තේ එකම ජංගම දුරකථන 05ක් බවට අනාවරණය වී ඇති බවත්, එම පහරදීමට සහ ඝාතනයට පැමිණි කණ්ඩායම කළුපාට යතුරුපැදිවලින් ජැකට් දමා මුහුණු ආවරණය කර පැමිණ උල් ආයුධවලින් පහරදීම සහ ඝාතනය සිදුකර ඇති බවත් අනාවරණය වන බව රහස්‍පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එමෙන්ම උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳ වන ජයකොඩි ආරච්චිගේ ධම්මිකා මල්කාන්ති තෙන්නකෝන් යන සාක්ෂිකරුවන් විසින් සැකකරුවන් නැවත දුටුවහොත් හඳුනාගත හැකි බවට පවසා ඇති බව ද රහස් ‍පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව අධිකරණය විසින් දැනුම් දෙන දිනයක දී මෙම සාක්ෂිකරුවන් දෙදෙනා ලංකාවට පැමිණ නඩු කටයුතු සඳහා පෙනී සිටීමට සූදානමින් සිටින බවට ද තමන් වෙත දැනුම් දී ඇතැයි ද වැඩිදුරටත් රහස් ‍පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 22 වැනි දා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් වන ලෙසට දැනුම් දෙමින් එදින තෙක් නඩුව කල් තැබිය.

Rivira



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7296308376316321902

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item