අත්අඩංගුවට අරන් දවස්‌ 8යි, තාමත් තොරතුරක්‌ නැහැ - පොලිස්‌ අත්අඩංගුවේදී අතුරුදන්වූ තරුණයාගේ පියා

හම්බන්තොට පොලිසිය පුතාව අත්අඩංගුවට අරන් දින අටක්‌ ගතවෙලා. පොලිසිය ඒ ගැන එක එක කතා කියනවා. පුතා පොලිස්‌ කූඩුවේ ඉඳලා මුත්‍රා කරන්න ගියා කිය...

හම්බන්තොට පොලිසිය පුතාව අත්අඩංගුවට අරන් දින අටක්‌ ගතවෙලා. පොලිසිය ඒ ගැන එක එක කතා කියනවා. පුතා පොලිස්‌ කූඩුවේ ඉඳලා මුත්‍රා කරන්න ගියා කියනවා. අත්අඩංගුවට ගන්න හදද්දි දිව්වා කියනවා. කොළඹ ගියා කියනවා. පොලිසිය මේ වගේ බොරු කියන්නේ පුතාට මොකක්‌හරි වුණ නිසා දැයි හම්බන්තොට පොලිසියේදී අතුරුදන් වූ බව කියන ජී. ජී. ගයාෂාන්ගේ පියා වන ජී. ජී. සිරිපාල (69) හැඬූ කඳුළින් කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට බදගිරියේ තරුණයාගේ අතුරුදන් වීම පිළිබඳව සොයා බැලීමට අප එහි ගිය අවස්‌ථාවේදීය.

එහිදී  ඔහු  මෙසේ ද කියා සිටියේය.

අදට දින 08 ක්‌ වෙනවා මගේ පුතා නැතිවෙලා. තවම පුතා ගැන කිසිම තොරතුරක්‌ නෑ. හොයන්න තියෙන හැම තැනම හෙව්වා. නමුත් කිසිම තොරතුරක්‌ නෑ. පොලිසියේ අය නම් එක එක දේ කියනවා. පුතාට මොකද වුණේ ඇහුවම. එක සැරයක්‌ කිව්වා පුතා අත්අඩංගුවට ගන්න යනකොට පාරෙදි වීල් එකත් දමලා පැනලා ගියා කියලා. පස්‌සේ කිව්වා පුතා පොලිස්‌ කූඩුවේ ඉඳලා මුත්‍රා කරන්න ගිහින් පැනලා ගියා කියලා. ඒ වෙලාවේ මං කිව්වා අනේ මහත්තයෝ අකුරු සාස්‌තරේ මට හොඳට බැරි වුණාට මට නම් ඔය වගේ ගොරක කතා කියන්න එපා කියලා. 

ඒත් මං ඇහුවා මේ හින්නිකිතර කොල්ලෙක්‌ පොලිසියෙන් පැනලා යනකොට අල්ලගන්න කෙනෙක්‌ හිටියේ නැද්ද කියලා. ඒ වෙලාවේ පොලිසියේ එක්‌කෙනෙක්‌ කිව්වා උදේ පහේ බස්‌ එකේ නැගලා කොළඹ ගියා කියලා. එතකොට මං ඇහුවා බස්‌ එකේ පැනලා යන බව දන්නවා නම් ඇයි පොලිසියේ වාහන තිබුණෙ නැද්ද අල්ලගන්න කියලා. අඩුම තරමේ යන බස්‌ එකත් දන්නවා නම් අත්අඩංගුවේ ඉන්න එකෙක්‌ පැනලා යන බව ඉස්‌සරහා පොලිසියකටවත් කෝල් කරලා කියන්න බැරි වුණාද ඇහුවා.

මේ වගේ පොලිසියේ අය බොරු ගොත ගොතා කියන්නේ මගේ දරුවට මොකක්‌ හරි වෙච්ච නිසා කියලයි මං හිතන්නේ. දරුවා ඇත්තටම පොලිසියෙන් පැනලා ගිහින් නම් ඒකට මට කමක්‌ නෑ. මොකද කවදාහරි දරුවා ගෙදර එන නිසා. දරුවට කරදරයක්‌ නැත්නම් නඩු 500 ක්‌ දැම්මත් මට කමක්‌ නෑ. අද පොලිසියේ අය මේ කලබල වෙලා ඉන්නේ මගේ දරුවට මොකක්‌ හරි මේ අය කරලා නිසයි.

වී සොරකමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස්‌ පහරදීම් නිසා රෝහල්ගත කෙරුණු සංජීව ප්‍රභාත් මෙසේ පැවසීය.

පස්‌වැනිදා මං බයික්‌ එකේ වාරිකය දමන්න තිස්‌සමහරාමේ ගිහින් ගෙදරට ආවා. ඒ ආවම මට දැනගන්න ලැබුණා පොලිසියෙන් ඇවිත් අපේ ගේ පරීක්‍ෂා කරලා මාව හොයලා කියලා. මං ගෙදර ඇවිත් පැය බාගයක්‌ විතර යනකොට අම්බලන්තොට පොලිසියේ ප්‍රේමරත්න රාලහාමියි තවත් රාලහාමි කෙනකුයි අපේ ගෙදරට ආවා. ප්‍රේමරත්න රාලහාමි ගේ ඇතුළටම ඇවිත් කිව්වා ඇඳගනින් අපිත් එක්‌ක යන්න ලෑස්‌ති වෙයන් කියලා. පස්‌සේ පොලිසියෙන් මාව අරගෙන ඇස්‌ බැඳලා අත් දෙකට මාංචු දමලා මට ගැහුවා. ගහලා කිව්වා මේ වරද බාරගනින්. වරද කරා කියලා කටඋත්තරයක්‌ දියන් කියලා. එහෙම කියලා පොලිසියේ එක්‌කෙනෙක්‌ මගේ උරේ සපත්තුවෙන් පෑගුවා.

ප්‍රේමරත්න රාලහාමි කිව්වා උඹ වරද බාරගනින් මං යන අලාබයක්‌ ගෙවන්නම් කියලා. මට මරණ තර්ජනය කළා. මේ වරද බාරගත්තොත් උඹට මොකුත් කරදරයක්‌ නෑ. නඩු දමන්නෙත් නෑ කිව්වා.

ගයාෂාන් මාත් එක්‌ක කූඩුවේ හිටියා. එයාට බඩේ අමාරුවක්‌ තියෙනවා වැසිකිළියට යන්න ඕනේ කියලා රිසව් හිටිය රාලහාමිටත් කිව්වා. මාත් ඔය කියන වැසිකිළියට ගියා. නමුත් ඒකෙන් නම් පැනලා යන්න කිසිම තැනක්‌ නෑ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු යටතේ විශේෂ මෙහෙයුමක්‌ ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස්‌ ස්‌ථානාධිපති පී. එම්. ජයරත්න මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් පස්‌දෙනකුට තාවකාලිකව ස්‌ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ද වෙනමම පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 506066003073434161

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item