එක් මගියෙක් වෙනුවෙන් පමණක් වසර තුනක් ධාවනය වුණු දුම්රිය සේවයක්

ශිර්තාකි, උතරුදිග ජපන් දූපත්වල හොකයිඩෝ ප‍්‍රදේශයේ පිහිටි සුන්දර ගම්මානයක්. වසර පුරාම හිම මිදෙන ගිරි දුර්ග හා සකුරා මල් පිපෙන වන දුර්ග...

ශිර්තාකි, උතරුදිග ජපන් දූපත්වල හොකයිඩෝ ප‍්‍රදේශයේ පිහිටි සුන්දර ගම්මානයක්.

වසර පුරාම හිම මිදෙන ගිරි දුර්ග හා සකුරා මල් පිපෙන වන දුර්ගවලින් වට වුණු සුන්දර ශිර්තාකිවල ජීවිතය නම් තරමක් දුෂ්කරයි.

මේ නිසා නගරයේ සුව පහසු ජීවිතයට හිත වැටුණු ශිර්තාකි වැසියන් බොහෝ දෙනෙකු ගමබිම් හැර ගිහින්.

අද වන විට ශිර්තාකි ගමේ ජීවත් වන්නේ පවුල් 18කට අයත් බෙහෙවින් සාම්ප‍්‍රදායික ජීවිතයකට හුරු පුරුදු වුණු පුද්ගලයන් 40 දෙනෙකු පමණයි.

කානා හරදා, ඒ අතර සිටින තරමක් වෙනස් ආකාරයට හිතන පතන යුවතියක්.

ඇය නගරයට පියාඹා යන්නට වඩා උනන්දු වූයේ නිසි කල වයස එළඹෙන තෙක් තමන් උපන් හැදී වැඩුණු ගම් පියසේ නිස්කංලක සුවය විදිමින් ඉහළට ඉගෙන ගන්නටයි.

ඒ සඳහා කානා, ශිර්තාකි සිට සැතපුම් 50ක් එපිටින් පිහිටි නාගරික සරසවියකට ඇතුළත් විය.

දිනපතා ගමේ සිට සරසවියට ගමන් කළ ඇය ගමන් බිමන් පහුසකම් සපයා ගත්තේ ගමට ආසන්න කාමි- ශිර්තාකි දුම්රියපළට එන යන ශිර්තාකි දුම්රිය සේවයෙනි.

නමුත් වියදමක් හැර ආදායමක් නොමැති මෙම දුෂ්කර දුම්රිය සේවය හා එම දුම්රියපළ වසා දමන්නට ජපන් රජය තීරණයක් ගෙන තිබුණි.

ජපන් රජය ගත් එම තීරණය කානා හරදා දිරිය දියණිය වෙනුවෙන් නැවත හකුලා ගැනුණි.

වසර තුනක් තිස්සේ කානා වෙනුවෙන් ශිර්තාකි දුම්රිය සේවය කි‍්‍රයාත්මක විය.

පසුගිය වසර තුන පුරාම ශිර්තාකි දුම්රියේ ආ ගිය එකම මගියා කානා හරදා පමණි.

උදෑසන 7.04ට කාමි- ශිර්තාකි දුම්රියපළට ළඟා වෙන ශිර්තාකි දුම්රිය කානා රැගෙන සැතපුම් පනහක් එපිට නගරයට ඇදී යයි.

යළිත් පස්වරු 5.08 නැවත ඇය රැගෙන කාමි-ශිර්තාකි දුම්රියපළට සේන්දු වෙයි.

ශිර්තාකි දුම්රියේ මෙම ස්ථාවර කාලසටහන ඇතැම් දිනවල කානාගේ සරසවි කාලසටහන අනුව වෙනස් විය.

මේ වසරේ මාර්තු 26 පැවැත්වෙන කානාගේ උපාධිප‍්‍රදානෝත්සවයෙන් පසු ඇය නගරයේ පදිංචියට යාමට නියමිතය.

ඒ සමඟම මෙම අපූරු, ඉස්තරම් ශිර්තාකි දුම්රිය සේවයත් , කාමි- ශිර්තාකි දුම්රියපළත් ස්ථීර වශයෙන්ම වසා දැමීමට ජපන් රජය තීන්දුවක් ගෙන ඇත.

ඒ මෙම දුම්රිය සේවය භාවිතා කරන්නට කිසිවෙකු නොමැති බැවිනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8793187053959057816

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item