අපි නොදන්න මොණරතැන්න
විල් ලිහිණියාගේ නාදය අසමින් සැලලිහිණියාට නිදාගන්න අණ කලාට ගොඩක් අයට නිදාගන්න සිදුවන්නේ ගෙදර ඇදේය. නිදිගැට හරිනවා කියන්නේ නින්දෙන් ඇහැරිල...

http://www.sathhanda.com/2016/03/blog-post_565.html
විල් ලිහිණියාගේ නාදය අසමින් සැලලිහිණියාට නිදාගන්න අණ කලාට ගොඩක් අයට නිදාගන්න සිදුවන්නේ ගෙදර ඇදේය. නිදිගැට හරිනවා කියන්නේ නින්දෙන් ඇහැරිලා අතේ පයේ හිරි අරින්න අත පය දික්ගස්සන එකය. මහදැන මුත්තා කල මෝඩකම් අතරට ගඟ නිදිද බලන්න හුළු අතු දාලා බැලීමත් එක්වෙනවා සේ 'යහපාලන' ආණ්ඩුවේ වරාය ඇමති අර්ජුන රණතුංගගේ වැඩිමල් සොහොයුරාවන වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගද ඊයේ කෑවේ ඉල්ලන් කෑමකි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂය බැගින්වු ශරීර ඇප දෙකක් මත දැඩි ලෙස අවවාදකර හරිනු ලබමින් කියාසිටියේ, සහෝදරයා ගෙන් පත්වීම ලබාගත් ජනතා මුදලින් නඩත්තුවන තමා වැනි පුද්ගලයෙකු අධිකරණ පරිශ්‍රයේදී හැසිරෙන්නේ මෙසේනම් වරාය අධිකාරියේ හැසිරෙන ආකාරය සිතාගත හැකි බවය. පුත්තලම පළාත් සභා මන්ත්‍රී එන්.ටී.එම් තාහීර්ද පුත්තලම අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ.එස්.කේ විජේසිංහට තර්ජනයකර පහරදීමට තැත්කිරීමට විරෝධය දක්වමින් පුත්තලමේ ගුරුවරු දෙදිනක් උද්ඝෝෂණය කළහ. ඔහුද ඇපපිට නිදහස්ය. මේ ඊයේ පෙරේදා සිදුවූ සිදුවීම්ය. 'යහපාලන' ආණ්ඩුවේ ඇගේ හැමතැනම මඩ ගෑවිලාය. දැන් යන්නේ කොරවක්ක මඩේ යනවා වගේ ගමනක්ය.

ඉකුත් මාර්තු 17 හයිඩ් පාක් පිටියේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ අති දැවැන්ත රැස්වීමෙන් එජාප ආණ්ඩුව පමණක් නොව ඔවුන් සමඟ එකගෙයි දීගකන ඩාර්ලි පාරේ නෛතික ශ්‍රිලනිපය සහ එහි සට්ටඹිකයන්ට සිදුවී ඇත්තේ මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑවා වැනි වැඩක්ය. ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම හයිඩ් පිටියෙන් එදා ඇරඹු අතර එහිදී සිය දේශපාලනය හැකිනම් නතර කරන්නැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් අභියෝගයක්ද කළේය. ඉකුත් සතියේ මුරගලින් කීවේ ගල්ලෙන බිඳ ඇතැයි කියාය. දැන් ලෙන්දොර ඇරී ඇත. ඉදිරි මැතිවරණයකදී අවශ්‍යවී ඇත්තේ සිංහබා..සිංහබා.. කියා ගල්ලෙනේ තවදුරටත් ලඟාගැසීම නොව ගල්ලෙනින් නව ආරම්භයකට පිය නැගීමය.
ඉකුත් ආණ්ඩුව ඉහ වහගෙන කෑ දේශපාලන පඬියන්ද හයිඩ් පිටියේ රැස්වීමෙන් පසු දැන් පොර ටෝක්ස් දෙති. ඔවුහු පවසන්නේ දේශපාලනයේ සදාකාලික සතුරන් සහ මිතුරන් නැති බැවින් ඉදිරියේදී එජාපය පරදවා ශ්‍රිලනිප ආණ්ඩුවක් බිහිකර ගැනීමට අවශ්‍යනම් ඉකුත් මහ මැතිවරණයේදී මෙන් පළාත් පාලන මැතිවරණයේදිද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ශ්‍රිලනිප තරඟ කලයුතු බවකි. අදෝමැයි! මේවා ඇහෙන විට ඉබේටම ඇඬෙයි! දිය රෙද්දෙන් බෙල්ල කපනවාට වඩා කහ රෙද්දෙන් බෙල්ල කැපීම නිකන් හාස් හූස් ගාන වැඩක්ය. එය ඩාර්ලි පාරේ ශ්‍රිලනිප අමුතු පොතකි. ගිනිපෙල්ලෙන් බැටකෑ එකා කනාමැදිරි එළියටත් බයයි බොලව්! අපි නොදන්න මොණරතැන්න කියන්නේ මේවාටය. එජාපයට ගැති නෛතික ශ්‍රිලනිප සමඟ එක්ව එජාප ආණ්ඩුව පෙරළා දැමිය නොහැකි බව දැන් පැහැදිලිය. කැපුවත් මහින්දගේ යැයි කියූ ගාල්ලේ මනූෂ නානායක්කාර සිරුරක් විනා හදවතක් නොමැති මිනිසෙකු බව කාලයාගේ ඇවෑමෙන් දැන් ඔප්පු කරමින් සිටී. අර කේස්, මේ කේස් වාෂ්ප කිරීමට මනූෂට දැන් 'යහපාලන' ඉබිකටුවේ පිහිටය. එජාප ආණ්ඩුව පෙරළීමට නව දේශපාලන බලවේගයක් අවශ්‍යව ඇත. මහින්ද රාජපක්ෂගේ නායකත්වය ඒ සඳහාය.
කොළඹ හයිඩ් පිටියේ මාර්තු 17දා රැළිය පෙන්නුම් කළේ හොරුන්, අපරාධකාරයින්, දූෂිතයින් යැයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කුමන චෝදනා කලද ජනතාව ඒවා බැහැරකර 30 වසරක දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීම සහ සංවර්ධනය පිළිබඳව සැබෑ යථාර්ථය ජාතිකවාදී හැගීමෙන් අති බහුතර ජනයා පසක් කල බවය. එදා රැස්වීමට පැමිණියේ රාජපක්ෂ බැතිමතුන් යැයි වම්මුයැ'යි හැදින්වූ තිදෙනෙක් මාධ්‍ය සංදර්ශනයකදී කියා සිටියහ. එසේ කියා සිටි එම කණ්ඩායමේ ඉකුත් වසරේ ප්‍රජා ශාලාවේ පැවති මැයි දින රැස්වීමට පැමිණියේ 7කි. ඉන් තිදෙනෙක් වේදිකාව උඩය. තවකෙක් ශබ්ද විකාශන කුලියට දුන් ස්ථානයේ ගෝලයාය. මුහුද විකුණගෙන කෑමේ ශාස්ත්‍රය ඉතා හොදින් දන්නා මේ වම්මු 'යහපාලන'යට මුවාවී දැනටමත් යොතක් ගිලගෙන සිටින බව දන්නෝ දනිති. ජාතියේ වාසනාවට 'යහපාලන' ආණ්ඩුවට ඇත්තේ දෛනිකව කෙට්ටුවන මොලයකි.
එජාපය 1977දී බෞතිස්ම කල විවෘත ආර්ථිකයෙන් පසු සුපේක්ෂාකාමි නියම පරහිතකාමි දේශපාලඥයින් බිහි නොවන බව සැබෑය. ශ්‍රීලනිපකාරයින්ට ඕනෑ ශ්‍රිලනිප ආණ්ඩුවක්ය. යු.එන්.පී කාරයින්ට ඕනෑ යූ.එන්.පී ආණ්ඩුවක්ය. ශ්‍රිලනිප ආණ්ඩුවක් හැම තිස්සේම වැඩ කළේ රටටය. යු.එන්.පී ආණ්ඩුවක් හැම විටම වැඩ කළේ පිටරටටය. දෙකේ වෙනස එයයි. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව හඬනැගූ වාම සළුපිළි හැඳගත් අය මෙන්ම සෙසු පිරිස්ද 'යහපාලන' ආණ්ඩුවක් වෙනුවෙන් දැන් පෙනී සිටින්නේ සීතාම්බර ඇදුමෙනි. වර්තමානයේ 'යහපාලන' ආණ්ඩුවේ සිදුවන ජනතා විරෝධී ක්‍රියාපිළිවෙත් හමුවේ ඔවුන් සිටින්නේ ඇටි කෙසෙල් කෑ උගුඩුවන් ලෙසය. රසවත්ම කථාව නම් එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් පේවී සිටිමින් සියළු වරදාන ලබාගත් පිරිස්ද ඩාර්ලි පාරේ නෛතික ශ්‍රිලනිප සමඟ එක්වී මහින්ද විරෝධී සටන් පාඨ හඬගෑමය. නමුදු දුකක් නැත. ඒ ඔවුන්ගේ අඹුදරුවන් හෝ රැකෙන බැවිනි. දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහයන් වරෙක පැවසූ පරිදි අංකුරාගේ කැලෑසියේදී කබරගොයා තලගොයා බවට නොව කුරුළුගොයා බවට වුවද පත්විය හැකිය.
එජාපයට මෙන්ම ශ්‍රිලනිපයටද පූර්ණකාලීනව යැපෙන කැපුවත් කොල, කැපුවත් නිල් පාක්ෂිකයින් පිරිසක් ඇති බව පිළිගත යුතුය. එමෙන්ම පාට් ටයිම් හෝ විශ්‍රාම දිවිය ගතකිරීම සදහා දේශපාලනය කරන පුලන්නයෝ පිරිසක්ද ප්‍රධාන පක්ෂ 2කටම ඇත. ඔවුහු තනතුරක් බලාපොරොත්තු වන අතර නොසැලකුවහොත් අනෙක් පැත්තට යටින් වැඩය. කවුරු ආවත් දිනන්නෝය. එහෙත් මහින්ද රාජපක්ෂට වර්තමානයේ රොද බැදගෙන සිටින බහුතරයම වාගේ ශ්‍රිලනිප සහ රට තුළ මධ්‍යස්ථව සිටින ජාතිකත්වයට බර අදහස් ඇති අය වේ. ජනපතිනිය ලෙස විශ්‍රාමගිය චන්ද්‍රිකා කුමාරතුංග අතහැර දැමුවේත් ජනපතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ තාමත් රටේ නායකයෙකු ලෙස පිළිගෙන තිබෙන්නේත් ඔවුහු විසිනි.
පාන් සහ හාල් මිල වැඩිවීම, වී මිල අඩුවීම, වැට් වැඩිවීම සහ ඒ සමඟ සියළුම භාණ්ඩ හා සේවා මිල තව වටයකින් ඉහලයාම, දුරකථන ගාස්තු ඉහලයාම, අවුරුදු දීමනා නොලැබීම, රාජ්‍ය ආයතන විකිණීම, ආණ්ඩුවේ රස්සා නොමැතිවීම,වාහන බදු ඉහල යාම, ආදායම් බදු ඉහල යාම, ගෙවල් ඉඩම් ගැනීමේදි අමතර ප්‍රාග්ධන බදු ගෙවීමට සිදුවීම් වැනිදේ මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට ලිච්චවි බ්‍රදර්ස්ලා ගෙන් තෑගි විදිහට ජනතාවට ලැබි ඇත. රුපියල් 30ට තිබූ කැට දිය ලුණු කිලෝවක දැන් වෙළෙඳපොළේ මිල රුපියල් 70කි. ලුණු සංස්ථාවේ කිලෝ 50ක මිටියක මිල රුපියල් 850 සිට රුපියල් 2,000 දක්වා මිල ඉහළ දැමීම එයට හේතුවය. ඉන්දියාවේ ලුණුවලට දැන් ගජ වාසිය. ඉන්දියාවේ ලුණු ශ්‍රී ලංකාවේ ලුණුවලට වඩා රුපියල් 15 ලාභය. ලුණු සේවකයින් දහස් ගණනකට දැනටත් රැකියා අහිමිය. වර්තමාන ආණ්ඩුව හරියට ආරවුලට ගිය පින් ළිඳ වාගේය.
රජයේ සේවකයින්ට ලබාදුන් රුපියල් 10,000 මාසික දීමනාවෙන් රුපියල් 2,500ක් රජයේ සේවකයින්ගේ මූලික වැටුපට මෙවර එක්කර ඇත. එහෙත් මූලික වැටුපට එක්වූ 2,500ට අඩුකිරීම් අනුපාතිකව අඩුකර ගත්විට රජයේ සේවකයාගේ අතට මෙතෙක් ලැබූ ශුද්ධ ලැබීම් රුපියල් 1,000 ආසන්න ප්‍රමාණයකින් අඩුවී ඇත. රාජ්‍ය නිලධාරින් පරිහරණය කරන පෞද්ගලික වාහන සඳහා රුපියල් 30,000 සිට 50,000 දක්වා මාසිකව ලබාදුන්නද රියදුරුන්, රක්ෂණ වාරික, නඩත්තු කටයුතු තමන් විසින්ම සිදුකර ගතයුතු නිසා මසකට රුපියල් ලක්ෂයක මුදලක්වත් අවශ්‍ය බව ශ්‍රී ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමයේ ප්‍රබල ඉල්ලීමකි. මේවා ආශ්චර්යෙන් වැටුණු මිනිහට 'යහපාලන'ය ඇන්නා වගේ වැඩය.
'යහපාලන' ආණ්ඩුව පත්වීමත් සමඟම පෞද්ගලික සමාගම්වල පාලකයෝ තමනට නව නිදහසක් ලැබි ඇතැයි සිතමින් සේවක දඬයමක්ද අරඹා ඇත. කිලිනොච්චියේ මාක්ස් ඇගලුම් කම්හලේ සහ කෑගල්ල පොලිටෙක්ස් සමාගමේ සේවක දඩයමද සණස බැංකුව තුළ ලංකා බැංකුවේ සේවක සංගමයේ ශාඛාවක් පිහිටුවීමට පුරෝගාමියෙකුවූ අරුණ විතානගේ සේවයෙන් පහකිරීමද ඒවාට නිදසුන් කිහිපයකි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන දැරිවිය ගිය මඟම යන්නට එජාප මන්ත්‍රී හර්ෂණ රාජකරුණාද කැසකැවීම කණගාටුදායකය. රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරඟය නැරඹීමට ඔහු ගිය විටදී එහි සිටි රාජකීය ආදි ශිෂ්‍ය ඔහුගේ මිතුරෙක් ඇසුවේ 'යහපාලනය' මරු නේදැයි කියාය. හර්ෂණගේ ආවතේවකාරයෝ හොද හැටි ප්‍රශ්නය නැගූ අයට රෝහල් ගත වන්නට පහර දුන්නේ මරේ මරු ලෙස තරු පෙනෙන්නටය. අහසට තරුවක් වුවද එය පොළොවට වැටුනම දිස්නය අතැර ගිය ගල් වැලි දුවිලිමය.

මාලඹේ පෞද්ගලික වෙද සිසු කඩය රජයට පවරා ගැනිමට දැන් සූදානම්ය. සිදුවිය යුත්තේ රජයට පවරා ගැනීම පමණක් නොව එය විශ්ව විද්‍යාල මට්ටමින් පවත්වාගෙන යෑමට රජය කටයුතු කිරීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වර්තමාන ආණ්ඩුව ඉල්ලා ඇති ණය මුදල ලබාගැනීම සඳහා නව බදු පැනවීම්වලට අමතරව රාජ්‍ය ආයතන රැසක්ම ප්‍රතිව්‍යූහගතකරණය කිරීමටත් ඒවායේ කොටස් විකුණා දැමීමටත් රජය සැලසුම්කර ඇත. මේ යටතේ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලිට්‌රෝ ගෑස් සමාගම, නැව්වලට තෙල් සැපයුම් කටයුතු, ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු, සළුසල, ලක්‌සල, නොරොච්චෝල හා කෙරවලපිටිය විදුලි බලාගාර, ජනවසම, ලංකා සතොස, ඇල්කඩුව වැවිලි සංස්‌ථාව ආදී ආයතන ගණනාවක් ප්‍රතිව්‍යූහගතගත කර ඒවායේ කොටස් ඉදිරියේදී අලෙවි කෙරෙනු ඇත.
ආණ්ඩුව පුරහලේදී පාර අවහිරවන සේ උද්ඝෝෂණය කලහොත් සැලියුට්ය. සරසවි සිසුන් කොටුවේදී කලහොත් කඳුළු ගෑස්ය. විමල් වීරවංශ බෞද්ධාලෝක මාවතේදී කලහොත් නඩු හබය. පොලිස් කොමිසමෙන් ඇසිය යුත්තේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියාය. නිදහස, යුක්තිය හෝ සාධාරණත්වය කිසිදා ඔබ සොයා එන්නේ නැත. ඔබ එය සොයා යා යුතුය. මාටින් ලූතර් කිං ප්‍රකාශකර ඇති පරිදි මේ යුගයේ දරුණුතම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව හොද මිනිසුන්ගේ නිහඬතාවයයි.
අවශ්‍ය වන්නේ කවුද බලවත්ද යන්න සෙවීමට වාද බයිලා තරඟයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙසම තහවුරු කිරීම සඳහා සදාචාර විරෝධී ලෙස කල්තැබූ පළාත් පාලන මැතිවරණ සීමානිර්ණ බොරුවට මුවා නොවී වහ වහා පැවැත්වීමය. එය මෙතෙක් 'යහපාලන' ආණ්ඩුව කල සියළු ක්‍රියාදාමයන් පිළිබඳව ජනමතය උරගා බැලීමට ගතහැකි හොඳම අවස්ථාවද වනු ඇත. පසුව ලියමි. අගමැති රනිල් වික්‍රමසිංහගේ 67වැනි උපන්දිනය ඊයේට යෙදී තිබුණු අතර එයට සුබපතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන කේක් කවනු දුටුවේය. අගමැති වික්‍රමසිංහ සිය පාර්ලිමේන්තු කථා මගින් බොහෝ අවස්ථාවලදී සැවොම සිනහ සයුරක ගිල්වන බැවින් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් කේක් නොලැබුණද පාර්ලිමේන්තු සිනා තුළින් සැවොම තරවී සිටින බවද දන්වන්නේ සතුටිනි.
-ධර්මන් වික්‍රමරත්න
(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)
Related