ජීවිතේ මට ලැබුණු හැමදේම මාව හොයාගෙන ආපු දේවල්

ඔබට ආයෙත් සිනමා වසන්තය ඇවිල්ලා වගේ? ඒක වසන්තයක් ද මම දන්නෙ නෑ. මේ චිත්‍රපට දෙකම එක ළඟ එක කාලයේ වගේ රූ ගතකිරීම් කළේ. තිරගත වීමත් ඒ නිසා ...

ඔබට ආයෙත් සිනමා වසන්තය ඇවිල්ලා වගේ?

ඒක වසන්තයක් ද මම දන්නෙ නෑ. මේ චිත්‍රපට දෙකම එක ළඟ එක කාලයේ වගේ රූ ගතකිරීම් කළේ. තිරගත වීමත් ඒ නිසා එක ළඟ වගේ සිද්ධ වෙයි. මේ චිත්‍රපට දෙකේ මගේ චරිත දෙක සම්පූර්ණයෙන් ම එකිනෙකට පරස්පර චරිත දෙකක්. ඒ නිසා මමත් බොහොම කැමැත්තෙන් ඉන්නව ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර දැනගන්න.

‘අජාසත්ත’ ඔබ රජ බිසවක් කළ පළමු චිත්‍රපටය නම් නොවෙයි. අපි අජාසත්ත ගැන කතා කරමු.

ඓතිහාසික කතා තේමාවක් යටතේ රජ බිසවකගේ චරිතයක් රඟපාපු පළමු අවස්ථාව මේක නෙමෙයි තමයි. විවාහයෙන් පස්සෙ ගත කළ දීර්ඝ කාලීන නිහැඬියාව නිමා කරමින් මම ආයෙත් සිනමාවට ආවේ එවැනි ඓතිහාසික සිනමා නිර්මාණයකින්. ඒ ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ ‘අබා’ චිත්‍රපටයේ උන්මාද චිත්‍රා කුමරියගේ චරිතය නිරූපණය කරමින්. ඊට පස්සේ තමයි මම ‘අජාසත්ත’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. මේ චිත්‍රපටයේ මම රඟපාන්නේ ‘බිම්බිසාර රජ දේවිය වන ඛේමා බිසවගේ චරිතය.

ඇයි ඔබ මේ චරිතයට කැමැති වුණේ?

මේ කතාව බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ සිදු වූ කතාවක්. ඛේමා බිසව කියන්නේ බුදුන් සරණ ගිය කාන්තාවක්. චිත්‍රපටයේ තිරනාටකය කියෙව්වම මට මේ චරිතය කරන්න ආසාවක් ඇතිවුණා. බෞද්ධාගම අදහන, බෞද්ධාගම අගය කරන කාන්තාවක් හැටියට ඒක මට එක පැත්තකින් විශාල ගෞරවයක් වගේ ම වාසනාවක් හැටියටත් මම සැලකුවා. අනිත් පැත්තෙන් අපේ රටේ ‘අජාසත්ත’ චිත්‍රපටය මීට ප්‍රථම මෙහි නිපදවා තිබෙනවා. නමුත් ඒ මීට දශක ගණනාවකට පෙර. ලංකාවේ වර්තමාන පරපුර විශේෂයෙන් ම මගේ පුතාගේ පරම්පරාවේ අය ඒ ගැන දන්නේ නෑ. මට හිතුණා ඒක ඔවුන්ට හොඳ ආදර්ශයක් සපයන කතාවක් කියලා.

පසුගිය කාලයේ මට ලැබුණ හැමදේම මම කළේ නෑ. මට හොඳයි කියල හිතෙන, සුදුසු හොඳ දේ පමණයි කළේ‍. මේ වගේ නිර්මාණයකින් හොඳ පණිවුඩයක් දෙන්න පුළුවන් කියල හිතලයි මේ චිත්‍රපටය කළේ. විවේචන එයි. හොඳ නරක දෙකම තියෙයි. අපි බලමු ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි වගේ ද කියලා.

‘අජාසත්ත’ චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ ‘අබා’ චිත්‍රපටයේ රඟපා වසර 04 ට පසුයි. විවාහයෙන් පසු ගත කළ කාල සීමාව ව‍ූ වසර 15 ක කාලය ඇතුළත ඔබ රඟපා තිබෙන්නේ චිත්‍රපට 03 ක පමණයි. ඇයි මේ තේරීම?

මුල් කාලේ නම් ඒකට හේතුව මගේ විවාහය සහ දරුවා ලැබීම. පුතා නිසා ඔහු ලොකු වනතුරු චිත්‍රපට කරන්නෙ නෑ කියන තැන මම හිටියා. දරුවන් අරගෙන ෂූටිං යන්න මට වුවමනාවක් තිබුණේ නෑ. එයා වෙනුවෙන් ගත කරපු කාලය අපරාදේ කියල කවදාවත් මට හිතෙන්නෙ නෑ. ඒ කාලේ ඇතුළත ඉතාම හොඳ චරිත මම කිසිම ලෝභකමක් නැතුව අතහැරියා. ඊට වැඩිය අම්මා කෙනෙක් විදියට මම ගත කරපු ජීවිතේ මට වටිනවා. එයාට අවුරුදු 09 ක් වෙනකොට තමයි මම ආයෙත් චිත්‍රපටයක රඟපාන්න ගියේ. ඒ වෙනකොට මට ලැබුණු ආරාධනාව ‘අබා’ චිත්‍රපටය. ඊට පස්සෙ ‘අජාසත්ත'. ඊට සමගාමීවම වගේ තමයි ජැක්සන් ගේ ‘ඇඩ්‍රස් නෑ’ සඳහාත් ආරාධනා ලැබුණේ.

‘ඇඩ්‍රස් නෑ’ කොයි වගේ ද?

‘අජාසත්ත’ ට වඩා හාත්පසින් ම වෙනස්. කොටින් ම කිවුවොත් රජ බිසව සඳළුතලයෙන් නරකාදියට බහිනවා. අපි කොළඹ ජීවත්වුණාට අපිත් සමඟ කොළඹම ජීවත්වෙන තවත් ජන කොට්ඨාසයකගේ සැබෑම ජීවිත අත්දැකීම් තමයි ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ තිබෙන්නේ. මුඩුක්කු ජීවිතයේ සැබෑ යථාර්ථය මේ චිත්‍රපටයෙන් පිළිබිඹු වෙනවා. මේ මුඩුක්කු පරිසරය හඳුන්වන්නේ ‘නාසිවත්ත’ නමිනුයි. මම රඟපාන්නේ නාසිවත්තේ ‘සන්ධ්‍යා’ ගේ චරිතය. ‘අජාසත්ත’ හි ‘ඛේමා’ බිසවත් එක්ක ගත්තොත් මේක අහසට පොළව වගේ.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජැක්සන් ඇන්තන‍ි. ඔබ ඔහුත් සමඟ වැඩ කරන ප්‍රථම වතාව නොවෙයි මේක?

ඔව්. ජැක්සන් ගේ අධ්‍යක්ෂණයට මම ඉස්සරලම යටත් වුණේ ටෙලිනාට්‍ය‍යකින්. ඒ ‘ඇසල කළුවර'. ඊට පස්සෙ ‘අබා'. තුන්වැනි වතාවටයි ‘ඇඩ්‍රස් නෑ’ හිදී හමුවෙන්නේ.‍ ඔහුත් සමඟ වැඩ කරන්න ලැබීම නිළියකට භාග්‍යයක්. ඔහු අධ්‍යක්ෂවරයෙක් සේ ම ඉතා ම දක්ෂ නළුවෙක්. මේ චිත්‍රපටයේත් ඔහු අධ්‍යක්ෂණය කරන ගමන් ප්‍රධාන චරිතය රඟපානවා‍. ඒ නළුකම නිසා ම ඔහු දන්නවා තව කෙනෙකුගෙන් රංගනය ගන්නේ කොහොමද කියලා.

ඔබ නැවතත් සිනමාව තුළ කාර්ය බහුල වෙයිද?

නෑ. එහෙම වුවමනාවක් මට නෑ. දැන් මගේ ජීවිතේ මූලික තැන මගේ පවුල. සැමියා, දරුවා. එහෙත් මගේ ජීවිතේ කිසිම දිනක මගේ හිත මම සිනමාවෙන් ඉවතට ගෙන නෑ. මම ජීවත් වුණේ සිනමාවෙන්. සබීතා කියන නම හැදුණේ සිනමාව තුළ. මම උපන්දා සිට ම හිටියේ මේ ක්ෂේත්‍රය තුළ. ඒක මට මගේ අම්මගෙන් තාත්තගෙන් ලැබුණු විශේෂ වරප්‍රසාදයක්. මම මැරෙනතුරු ඉන්නෙත් එතැන. මට මැරෙන්න වෙන්නේ කලාකාරියක් විදියට. මම මොන දේ කළත් මගේ කලාව මාත් සමඟ ජීවත් වුණා. මම රඟපෑවේ නැති වුණාට චිත්‍රපට බැලුවා. කලා උත්සව වලට සහභාගි වුණා. පසුගිය අවුරුදු 15 ඇතුළතම ඒක‍ මිනිස්සුන්ට නොදැනුණේ ඒ හින්දා. නමුත් දැන් මම සිනමාව නිසා කාර්ය බහුල වෙන්න බෑ‍. බිරියක් විදියට ඉටු කරන්න යුතුකම් මට තියෙනවා. මවක් විදියට මගෙන් විය යුතු දේවල් කියනවා‍. ඒ තුළ මම කාර්ය බහුලයි.

ඇත්තට ම ඔබේ සිනමා දිවියේ කාර්ය බහුල ඒ අතීතය දිහා ආපසු හැරුණොත් මොකද හිතෙන්නේ?

සමහර වෙලාවට සමහර චිත්‍රපටවල චරිත ගැන හිතෙන කොට ඒක මට හීනෙන් ගෑ සුවඳක් ‍වගේ දැනෙනවා. දැනෙනවා කියන්නෙයි, මතක් වෙනව කියන්නෙයි දෙකක්. සමහර දේවල් මට මතක් වෙනව විතරයි. ඒත් සමහර දේවල් මට දැනෙනවා. දැනෙනවා කියන එක අත ළඟ තිබෙනවා වගේ දෙයක්. සමහර දේවල් දැක්කම අනේ ඇයි ඒක මම රඟපෑවේ කියලා හිතෙනවා. ඒක රඟපෑමට විතරක් ‍පොදු දෙයක් නොවෙයි. ජීවිතේ සමහර තීරණවල දී සමහර කාලවලදී අනේ ඇයි ඒක කළේ, ඇයි ඒක කළේ නැත්තේ? කියලා දැන් හිතෙනවා. එහෙම තමයි ජීවිතේ හැටි. එදා මට හිතුණ දේ නොවෙයි අද හිතෙන්නේ.‍ ඒ ඒ තීරණවලදී එදා අපි හිටිය තත්වයෙන් නොවෙයි අද ඉන්නේ. කාලය අතින් අත්දැකීම් අතින්, වයසින් අද අපි වෙනස්. ඒ නිසා එදා තීරණ අද මට ගැළපෙන්නේ නැතුව ඇති.

ඔබ ඔය කියන්නේ ඔ‍බේ පෞද්ගලික ජීවිතේ සමහර තීන්දු තීරණවලටත් ඒක පොදුයි කියලද?

ඔව්. ආදර සම්බන්ධතාවලදී පවා අපට මුණ ගැසුණු ඒ ඒ පුද්ගලයන් අපේ ජීවිතවලට සම්බන්ධ ‍නොවෙන්න තිබෙන්න ඇති. මට අදාළ මට සම්බන්ධ දේ තමයි මේ සිද්ධ වෙලා තිබෙන්නේ. මට අදාළ නැති දේ මගේ ජීවිතය අතහැර ගිහින් තිබෙන්නේ ඒ නිසා. ඒ මට වෙන්න තිබෙන දේ. මගේ විවාහ ජීවිතේ දී පවා මට සිද්ධ වුණේ මට ලැබෙන්න තිබෙන විදියටයි. මම සාමාන්‍යයෙන් කේන්දර විශ්වාස කරන කෙනෙක්. ඒ කාලේ අපේ අම්මා කේන්දරේ බලන කොට කියපු දේවල් තමයි අද සිද්ධ වෙලා තිබෙන්නේ‍. ඒ කාලේ අපි ඒවා‍ ගැන තැකීමක් කළේ නෑ. මට දැනෙන හැටියට අපේ ජීවිතේ අපට පාලනයක් නෑ. අපි කොච්චර පාලනය කරන්න හැදුවත් ඒක අපට කරන්න බෑ. ඒ කාලේ ඒ වෙනුවෙන් අඬල, දොඬලා වැලපුණා. ඇයි මට මෙහෙම වුණේ කියලා. කොයි තරම් නම් දුක්වෙලා තියෙනවද? නමුත් දැන් එහෙම හිතෙන්නේ නෑ. පසුගිය අතීතය ගැන දුක්වෙන්න අවශ්‍ය නෑ. අතීතය ගැන පසුතැවී දුක් විඳින එක වදයක්.

එහෙම හිතන්න හිත හදාගන්නේ කොහොමද?

මට හිතෙන්නේ අත්දැකීම් සහ කාලයත් එක්ක වයසින් මුහුකු‍රා යනකොට අපේ සිතුවිලි වෙනස් වෙනවා. ලෝකය වෙනස් වෙනවා. සිතුම් පැතුම් වෙනස් වෙනවා. එහෙම කියලා තමන්ගේ ජීවිතේට අත දීපු සාර්ථකත්වයට මඟ පෙන්වපු අය අමතක කරන්න කියන එක නොවෙයි මම කියන්නේ‍‍. එහෙම වුණොත් ඒක ගුණමකු කමක්. අතීතය ගැන දුක් නොවී වර්තමානයේ ජීවත්වෙන්න කියන එකයි කියන්නේ.

ඔබේ සැමියා සහ පුතා ඔබ රඟපානවට කැමැති ද?

උපාලිගේ එදා සිටම අකැමැත්තක් තිබුණේ නෑ. එයත් කලාවට බොහොම ළැදි කෙනෙක්. චිත්‍රපටයක් දෙකක් කළාට මම කාර්ය බහුල නිළියක් වෙනවට එයා කැමැති වෙන එකක් නෑ. ගෙදර වැඩ කටයුතු පිළිවෙලක් ඇතුව වෙනවට එයා කැමැතියි. මම නිතරම ගෙදර නැති වෙනවා. උපාලිත් පුතත් දෙන්නම කැමැති වෙන එකක් නෑ. ‘අජාසත්ත’ චිත්‍රපටය අපි තුන් දෙනා ම බැලුවා. උපාලියි පුතයි දෙන්නම ඒ ගැන සතුටු වුණා.

විශේෂයෙන් බටහිර රටවල් ගත්තොත් නළු නිළියන්ට වයසට ගියත් ඔවුන්ට රඟ පා හැකි චරිත තිබෙනවා. ලංකාවේ ඒ තත්ත්වය අඩුයි නේද?

මට ඒක දැනෙනවා. අපේ රටේ ඒ තත්ත්වය හරිම අඩුයි. මම මට ගැළපෙන චරිත වෙනුවෙන් කාලයක් බලා ඉන්නේ ඒ නිසා. චරිත නොලැබෙනවා නොවෙයි. නමුත් බොරු දෙයක් කරනවට වඩා කරන්නැතුව ඉඳලා හොඳ දෙයක් වෙනුවෙන් කාලය මට ඉතිරි කර ගන්න ඕන. මම චිත්‍රපටවල කැපවීමෙන් වැඩ කරපු කෙනෙක්. පකිස්ථාන් චිත්‍රපටත් 16 න් කළා. මම කරපු ඒ කැපකිරීම් මතක් කරත්දි ඒවා කළේ මම ද කියලත් හිතෙනවා. විශේෂයෙන් ‘ඇසල කළුවර’, ‘පිටගම්කාරයෝ’ වැනි ටෙලිනාට්‍ය, ‘විමුක්ති’, ‘සිසිල ගිනි ගනී’ වැනි චිත්‍රපටවල කළ කැපවීම මතක් වෙනකොට මට පුදුමයි.

කියන්නේ අද ඒ කැපවීම ඔබට කරන්න බෑ කියල ද?

නෑ. අද වුණත් මට හිතුණොත් ඒ කැප කිරීම කරන්න පුළුවන්. මගේ ජීවිතේ මට ලැබුණු සැමදේ ම මාව හොයාගෙන ආපු දේවල්. ඒක මගේ වාසනාව.

හේමාලි විජේරත්න‍



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 4254508479037652855

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item