කැලණිතිස්‌ස බලාගාරයකුත් අක්‍රිය වෙයි විදුලි අර්බුදය තවත් උග්‍ර අතට

කැලණිතිස්‌ස බලාගාරයේ පිහිටි ඊ. ඒ. එස්‌. ඩීසල් විදුලි බලාගාරයත් ඊයේ (28 වැනිදා) අක්‍රිය වූ අතර එමගින් ජාතික විදුලි පද්ධතියට ලැබුණු මෙගාවොට...

කැලණිතිස්‌ස බලාගාරයේ පිහිටි ඊ. ඒ. එස්‌. ඩීසල් විදුලි බලාගාරයත් ඊයේ (28 වැනිදා) අක්‍රිය වූ අතර එමගින් ජාතික විදුලි පද්ධතියට ලැබුණු මෙගාවොට්‌ එකසිය හැටපහක්‌ අහිමි වීමෙන් විදුලි අර්බුදය තවත් උග්‍ර අතට හැරී ඇතැයි ලංකා විදුලිබල මණ්‌ඩලය පැවසීය.

මේ වන විට දෛනික විදුලිබල ඉල්ලුම මෙගාවොට්‌ 2300 ක්‌ වන අතර ලංවිම සතුව ඇත්තේ මෙගාවොට්‌ 1900 ක පමණ ප්‍රමාණයකැයි විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ පැවසීය.

බිඳවැටුණු කැලණිතිස්‌ස ඊ. ඒ. එස්‌. බලාගාරය සක්‍රීය කිරීමට දින තුනක්‌වත් ගතවන අතර පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රදේශවල විදුලි බිඳවැටීම් සිදුවිය හැකි බව ද අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේම දකුණු පළාතේ මෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක පැය කිහිපයක්‌ම විදුලි බිඳවැටීම් සිදු වූ අතර නිල නොවන මට්‌ටමින් විදුලිය කපාහරින්නේදැයි අප විමසූ විට පිළිතුරු දුන් ලේකම්වරයා කියා සිටියේ විදුලිබලය අඛණ්‌ඩව ලබාදීම සැබවින්ම බරපතළ අභියෝගයක්‌ වී ඇති බවයි.

විදුලිය කපා නොහැර අඛණ්‌ඩව විදුලිය ලබාදීම රජයේ අරමුණ බවත් විදුලි ඉල්ලුම ඉහළ යන අවස්‌ථාවල ඇතැම් විට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවත් අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්‌ඩලය සතුව මෙගොවොට්‌ 3900 ක්‌ ඇති අතර මේ දිනවල පවතින දැඩි නියඟය නිසා ජල විදුලියෙන් ලැබෙන මෙගාවොට්‌ 450 ක්‌ මෙන්ම සුළං හා කුඩා ජල විදුලි බලාගාරවලින් ලැබෙන විදුලිය ද විශාල ලෙස පද්ධතීන්ට අහිමිව තිබේ.

කෙසේ වෙතත් කැලණිතිස්‌ස ඊ. ඒ. එස්‌. බලාගාරය අක්‍රිය වීම නිසා තත්ත්වය උග්‍ර වී ඇතැයි ද මේ වන විට මෙගාවොට්‌ 450 ක පමණ හිඟයක්‌ සමඟ අඛණ්‌ඩව විදුලිය ලබාදීමේ අභියෝගයකට මුහුණදෙමින් සිටින බව ද විදුලි අර්බුදය පිළිබඳ විදුලි ඉංජිනේරුවරු කියා සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6704931805658284932

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item