රු.බිලියන 121ක් අතුරුදහන් වුණේ කොහොමද?

නිදහසින් පසුව අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකරන ලද විශාලතම කප්පාදුව මෙවර අයවැයෙන් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි. ...

නිදහසින් පසුව අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකරන ලද විශාලතම කප්පාදුව මෙවර අයවැයෙන් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

2016 ට අධ්‍යාපන ක්ෂේත්‍රයට රු.බිලියන 250ක් වෙන් කළ බව කියමින් පාර්ලිමේන්තුව නොමග යැවීමට මුදල් අමාත්‍යවරයා විසින් කටයුතු කළ බවත්, විශාඛා විද්‍යාලය සෑදීමට ඉඩම ලබාදුන්නේ ජී.එල් පීරිස්ගේ ආච්චිගේ ආච්චි වුණත් එම ඉඩමේ වටිනාකම පවා එකතු කර මහා බොරුවක් මවාපෑමට මුදල් අමාත්‍යවරයාට හැකියාව 
ලැබුණු බව ගුණවර්ධන සඳහන් කළේය.

මෙවර අයවැය යෝජනාවන්ට අදාළව රාජ්‍ය ආයෝජන ඇස්තමේන්තුවෙන් බිලියන 121ක් අතුරුදහන්ව ඇති බවත්, ඒවාට සිදුවූයේ කුමක්දැයි කිසිවෙකුත් නොදන්නා බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මහවැලි ගඟ උතුරට හැරවීමට ගියේද කෝටි 5000ක පමණ මුදලක් බවත්, මෙතැන පවත්නා කෝටි 12,000ක පමණ මුදල අතුරුදහන්වූයේ කෙසේදැයි නොදන්නා බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ යුගයේ බිලියන 301ක් නාස්ති කළ බවට මුදල් ගෙවා ආණ්ඩුව විසින් ප්‍රචාරණ කටයුතු සිදුකරන ලද නමුත් ගෙවුණු වසර එක හමාරක පමණ කාලය තුළ රුපියල බාල්දු කිරීමෙන් සිදුවූ පාඩුව ඊට වඩා වැඩි බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

හම්බන්තොට වරාය වැනි පාඩු ලබනවා යයි කියන ආයතන විකුණා කෑමට හෝ හැකියාව ඇතත් මෙවන් පාඩු පියවා ගැනීමට කිසිදු හැකියාවක් නැති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ 2017 අයවැය යෝජනාවන්හි වාසිදායක යයි හිතෙන කරුණු සිංහලෙන්ද,අවාසිදායක යයි හිතෙන කරුණු ඉංග්‍රීසියෙන්ද කියැවීමට මුදල් අමාත්‍යවරයා විසින් කටයුතු කළ බවයි.

පසුගිය වසරේ අයවැයෙන් සරසවි සිසුන්ට ලැප්ටොප් පරිගණක යෝජනා කළද,මෙතෙක් එවැනි ලැප්ටොප් ලබාගත් සරසවි සිසුවෙක් සොයාගැනීමට හැකියාවක් ලැබී නොමැති බවත් ඔහු සිහිපත් කළේය.

මෙවර අයවැයෙන් පාසල් සිසුන්ට ටැබ් යෝජනා කිරීමද එවැනිම ‍ක්‍රියාවන් වනු ඇති බවත්,අන්තර්ජාල ගාස්තු ඉහළ නංවා ටැබ් ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7021377709145834965

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item