පොහොර සනධාරය නෑ - වී ගොවියෝ දැඩි අසීරුතාවක

වී ගොවීන්ට හිමිවිය යුතු පොහොර සහනාධාරය තවමත් නිසිපරිදි නොලැබීම නිසා ගොවීන් දැඩි අසීරුතාවකට පත්වී ඇති බව වාර්තා වේ.  දින දාහතරක් තුළ ප...

වී ගොවීන්ට හිමිවිය යුතු පොහොර සහනාධාරය තවමත් නිසිපරිදි නොලැබීම නිසා ගොවීන් දැඩි අසීරුතාවකට පත්වී ඇති බව වාර්තා වේ. 

දින දාහතරක් තුළ පොහොර සහනාධාර මුදල් බැංකුගත කරන බවට රජය විසින් ලබාදුන් පොරොන්දුවට දින 07ක් ගත වී ඇතත් එය ඉටු කිරීමට තවමත් ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නොමැති බව ගොවි සංවිධාන චෝදනා කරයි.

වී වැපිරීමට පෙර මඩ පොහොර යෙදිය යුතු වුවත් මෙවර වගා කන්නයට අදාළ පොහොර සහනාධාර මුදල් නොලැබීම නිසා වගාකර ඇති භූමිවලින් 90%කටම මඩ පොහොර යොදා නොමැති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කළහ.

බොහෝ ප්‍රදේශවල වී වගාකර මේ වන විට දින 45කට ආසන්න කාලයක් ගතවී තිබෙන බවත්, එම කාලය තුළ අවස්ථා තුනකදී පොහොර යෙදිය යුතු බවද ගිරුවාපත්තුව ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.

කනකර උකස් කරමින් සමහර ගොවීන් වගාවට පොහොර යෙදුවද බොහෝ ගොවීන්ට එවැනි වත්කමක් නොමැති වීම නිසා වගාවන් සඳහා පොහොර යෙදීමක් සිදුකර නොමැති අතර, මේ හේතුවෙන් අස්වැන්න 50%කට වැඩියෙන් අහිමි වී යා හැකි බවද එම සංවිධානයේ ලේකම් සරත් යාපා සඳහන් කළේය.

පොහොර සහනාධාර මුදල් නොලැබීම නිසා සමස්ත ගොවි ජනතාවම පීඩාවට පත්ව සිටින බවත්, මෙම ක්‍රමය ඉතාමත් අසාර්ථක ක්‍රමයක් බවට ආණ්ඩුවට මුලසිටම දැන්වූ බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කළේය.

ආණ්ඩුව හිතුවක්කාරී ලෙස සහනාධාර පොහොර ලබාදීම හා වෙළෙඳපොළට ලබාදී තිබූ පොහොර සහනාධාරය කපා දමා පොහොර මිලදී ගැනීමට මුදල් ලබාදීමට තීරණය කළ බවත් එම වැඩපිළිවෙළ ආරම්භ වූ දින සිටම අසාර්ථක වූ බවද එම සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේය.

මෙවර වගා කන්නය ආරම්භ වී දින 45කට වැඩි කාලයක් ගත වී ඇතත්, මෙතෙක් පොහොර සහනාධාර මුදල් බැංකුගතකර නොමැති බැවින් පසුගිය දිනවල දිස්ත්‍රික්ක මට්ටමින් ගොවිජනතාව මෙයට විරෝධය පෑ බවද පවසා සිටියේය.

මෙම විරෝධය නිසා පසුගිය 07 වන දින කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ දින 14ක් තුළ අදාළ මුදල් බැංකුගත කරන බවට යැයිද හෙතෙම සඳහන් කළේය. ලබාදුන් පොරොන්දුවට අනුව මේ වන විට දින 07ක කාලයක් ගතවී තිබෙන නමුත් මෙතෙක් නිසි ප්‍රතිචාර නොමැති බව නාමල් කරුණාරත්න කියා සිටියේය.

මේ මස 21 වන දිනට පෙර අදාළ මුදල් නොලැබුණහොත් එයට විරුද්ධව ක්‍රියාමාර්ග දියත් කිරීමට මේ වන විට ගොවි ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති 1000ක් සන්ධානගත වී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 149143136939367955

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item