කරුණාට ඇප

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්ට ඇප ලබා දී තිබේ. අදාළ නඩුව අද(07) කැඳවූ අව...

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්ට ඇප ලබා දී තිබේ.

අදාළ නඩුව අද(07) කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඒ මහතාට ඇප ලබා දුන් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කර තිබේ.

රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාවකට කරුණා අම්මාන් පසුගිය (29) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අධිකරණය හමුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් හිටපු අමාත්‍යවරයාට ලබාදුන් රුපියල් කෝටි 9කට අධික වටිනාකමින් යුතු වෙඩි නොවදින රථයක් ඔහු විසින් සාවද්‍ය ආකාරයට පරිහරණය කර ඇති බවයි.

එය පොදු දේපල පනතේ යටතේ දඞුවම් ලැබිය හැකි වරදක් බව කියා සිටි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් එම ඉල්ලීමට විරෝධය පළ කර ඇති කරුණාඅම්මාන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අදාළ වාහනය බාරගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට ලිඛිතව දන්වා තිබූ බව පවසා සිටියේය.

එමෙන්ම විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා විසින් ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබූ අතර එය පසුගිය 05 වන දින සළකා බැලීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබුණි.

එම ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් නීතීඥවරයා පවසා තිබුණේ බන්ධනාගාරය තුළ විනයාගමූර්ති මුරලිදරන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතුවී ඇති බවයි .

එමෙන්ම ප්‍රශ්නගත වෙඩි නොවදින වාහනය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාරගන්නා ලෙස ලිඛිතව දැනුම් දී තිබුණද ඒ පිළිබද එම කාර්යාලය සැළකිල්ලක් නොදැක්වූ බව ඔහු පෙන්වා දී තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සැකකරු විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කළ ලිපිය පිලිබද කරුණු තහවුරු කරගෙන අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිස්මූල්‍ය අපරාධ කොට්ඨාසයට දන්වා තිබූණි.

පසුගිය 05 වන දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණා පාර්ශවයේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ බන්ධනාගාරය තුළ කරුණා අම්මාන්ගේ ආරක්ෂාවට තර්ජනයක් පවතින බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා විත්තිකරුට ඇප නියම කරන ලෙසයි. 

ඊට විරෝධය පළකරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේ ප්‍රශ්නගත වාහනය ලියාපදිංචි කර නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා දැනුම්දී ඇති බවයි.

එමෙන්ම ලියාපදිංචි නොකරන වාහනයක් සඳහා ලබා දෙන රහසිගත අංකය ද එම වාහනය සඳහා ලබා ගෙන නොමැති බව පොලිස් මූල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විත්තිකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව අදාළ ඇප ඉල්ලීම අද (07) දින ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර එදිනට ඇප ලබාදීම පිලිබද තීරණය කරන බව ප්‍රකාශ කර තිබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8989704980955930798

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item