වතුයායේ දිවගිය කොටකලිසන් කාරයා කොටකෙතන කාන්තාවගේ මාරකයාද?

කහවත්ත කොටකෙතන ඕපාත තේවතු යායේදී වතුකම්කරු  නාදන් පාප්පු නමැති කාන්තාව  ඝාතනයට ලක්වූ පෙරේදා (28) දහවල් කොට කලිසමක් හැඳගත් නාඳුනන අයකු වතු ය...

කහවත්ත කොටකෙතන ඕපාත තේවතු යායේදී වතුකම්කරු නාදන් පාප්පු නමැති කාන්තාව ඝාතනයට ලක්වූ පෙරේදා (28) දහවල් කොට කලිසමක් හැඳගත් නාඳුනන අයකු වතු යායේ සිට දිව ගිය බව වතු කම්කරුවකු ‍පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව ‍පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම ඝාතනය පිළිබඳව ප්‍රදේශවාසීන් තිස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඒ අතර කාන්තාව සමග සේවය කරන කිහිප දෙනකුද සිටින බවත් ‍පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතන පරීක්ෂණයට රත්නපුර දිසාවේ ‍පොලිස් ස්ථානවල අපරාධ පිළිබඳ ඒකක ස්ථානාධිපතිවරුන් 15 දෙනකු හා අපරාධ විමර්ශනවලට දක්ෂතා දැක්වූ නිලධාරීන් රැසක් කහවත්තට යොදවා ඇතැයිද රත්නපුර උසස් ‍පොලිස් නිලධාරියකු පැවසීය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී ‍පොලිස් කණ්ඩායම් එක්ව එම ප්‍රදේශයේ සෝදිසි කටයුතුවල නිරත වූ අතර කිසිදු තොරතුරක් මතෛක් නොලැබුණු බව ‍පොලිසිය පවසයි. මෙම කාන්තාව වෙනත් ස්ථානයක ඝාතනය කොට පසුව ඇදගෙන ඇවිදින් තවත් ස්ථානයකට දමන්නට ඇතැයි ‍පොලිසිය සැක කරයි. අදාළ ඝාතනය වූ ස්ථානය ‍පොලිස් නිල සුනඛයන් යෙදවූවත් කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ බව ‍පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ඊයේ සවස රත්නපුර රෝහ‍ලේදී ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ අධිකරණ වෛද්‍ය ටිකිරි බණ්ඩාර මහතා විසින් සිදු කළේය. මෙම මරණය හිසට තියුණු ආයුධයකින් සිදු කළ තුවාලවලින් සිදුවූවක් බව එහිදී නිශ්චය කරගෙන ඇත. ඇයගේ හිසට එවැනි මාරක ප්‍රහාර පහක් පමණ එල්ල වී ඇත. එම ප්‍රහාර තියුණු වක් පිහියක් වැනි දෙයකින් සිදුකර ඇති බවට විශ්වාස කෙරේ. මාරක පිහි  පහර ඇගේ හිස් කබල තුවාල කරමින් හිස තුළට කිඳා බැස තිබුණු බවද රත්නපුර මහ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ටිකිරි  බණ්ඩාර මහතා වාර්තා  කළේය. එපමණක් නොව ඇය ඝාතනයට පෙර ඝාතකයාගේ ග්‍රහණයෙන් හෝ ප්‍රහාරයෙන් මිදී යන්නට උත්සාහ කළ බවක්ද පෙනෙන්නට ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ඇයගේ වම් අත කැපී වෙන්ව තිබූ අතර, එය ඇයට එල්ල වූ ප්‍රහාරයක් වළක්වන්නට යාමේදී සිදුවන්නට ඇති බවද විශ්වාස කෙරේ. කාන්තාව ඇඳ සිටි යට ඇඳුමද ආයුධයකින් කපා ඉවත් කර දෙපා දෙපසට දමා තිබුණු බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එහෙත් ඇය දූෂණයට ලක්ව ඇද්ද යන්න පිළිබඳ ප්‍රකාශයට පත් කර නොතිබුණි. ශරීර කොටස් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6958800559101368826

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item